සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

4. සිංසපා වර්ගය

1. සිංසපා වන සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඇට්ටේරිය වනයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ වනාහි ඇට්ටේරිය කොළ ස්වල්පයක් ශ්‍රී හස්තයෙන් ගෙන භික්ෂූන් ඇමතූසේක.

[2] “මහණෙනි, ඒ කිමැයි හඟින්නෙහිද? මා විසින් අතින් ගන්නා ලද ඇට්ටේරිය කොළ ස්වල්පයද මේ ඇට්ටේරිය වනයෙහි ඉතිරි ඇට්ටේරිය කොළද යන දෙකින් කවරක් වැඩිද”

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද ඇට්ටේරිය කොළ ඉතා ස්වල්පය. ඇට්ටේරිය වනයෙහි ඉතිරි ඇට්ටේරිය කොළම වැඩිය.”

[3] “මහණෙනි, එසේම මා විසින් අවබොධ කොට නොකියන ලද්දේම අධිකය. කියන ලද දේ ස්වල්පය. මහණෙනි, කවර හෙයකින් මා විසින් නොකියන ලද්දේද? මහණෙනි, එය අර්ථයෙන් යුක්තවූයේ නොවෙයි. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වන්නේද නොවෙයි. කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස, දැනීම පිණිස, අවබොධ කිරීම පිණිස, නිවන පිණිස නොපවතියි. එහෙයින් මා විසින් එය නොවදාරණ ලදී.

[4] “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හෙතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.

[5] “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද? මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන පිණිස පවතියි.

[6] “මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනගැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුකට හේතුවයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මෙය දුක නැතිවීමයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි. මේ දුක නැතිකරන මාර්ගයයි දැනගැනීම පිණිස උත්සාහ කළ යුතුයි”