සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

4. සිංසපා වර්ගය

6. සුලාවුණය සූත්‍රය

“මහණෙනි, පුරුෂයෙක් මේ දඹදිව යම් තණ-දර අතු සහ කොළ වෙත්ද ඒ සියල්ල සැස, එක්තැනකට රැස් කරන්නේය එක්රැස්කොට, හුල්කරන්නේය. හුල්කොට මහාසමුද්‍රයෙහි යම් මහත් ප්‍රාණීහු වෙත්ද, ඔවුහු මහත් හුල්හි අමුණන්නේය. මහා සමුද්‍රයෙහි යම් මධ්‍යම ප්‍රාණීහු වෙත්ද, ඔව්හු මධ්‍යම හුල්හි අමුණන්නේය. මහාසමුද්‍රයෙහි යම් සියුම් ප්‍රාණීහු වෙත්ද, ඔවුහු සියුම් හුල්හි අමුණන්නේය. මහණෙනි, එහෙත් මහා සමුද්‍රයෙහි මහත් ප්‍රාණීහු අවසාන නොවන්නාහුය. මේ දඹදිව තණ, දර, අතු සහ කොළ අවසානයට පැමිණෙන්නේය. මහණෙනි, මහා සමුද්‍රයෙහි හුලින් අමුණා ගැනීමට පහසු නොවූ, සියුම් ප්‍රාණීහු ඊටද වඩා අධිකය. ඊට හේතු කවරේද? මහණෙනි, ආත්ම භාවයන් සියුම් බැවිනි. මහණෙනි, අපාය වනාහි මෙසේ මහත් වේ.

“මහණෙනි, යමෙක් මෙය දුකයයි තත්වූ පරිදි දනියිද, මේ දුකට හේතුවයයි තත්වූ පරිදි දනියිද, මේ දුක නැතිකිරීම යයි තත්වූ පරිදි දනියිද, මේ දුක නැතිකරන මාර්ගයයි තත්වූපරිදි දනියිද, ඒ මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුත් පුද්ගලතෙම වනාහි මෙසේ මහත් අපායෙන් මිදුනේ වෙයි.

(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.)