සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

4. සිංසපා වර්ගය

8. චන්දිම සුරියොපම සූත්‍රය

[2] “මහණෙනි, යම්තාක් සඳ හිරු දෙදෙන ලොකයෙහි පහළ නොවෙත්ද ඒතාක් මහත්වූ ආලොකයාගේ, මහත්වූ බැබලීමක් පහළ නොවෙයි. එකල්හි ගනඳුර වෙයි. අඳුරෙන් වැඩීම වෙයි. ඒතාක් රෑ දවල් නොපෙනෙත්. මාස අර්ධ මාසයෝ නොපෙනෙත්. ඍතු වර්ෂයෝ නොපෙනෙත්. මහණෙනි, යම් තැනක පටන් සඳ හිරු දෙදෙන ලෝකයෙහි උපදිත්ද, එකල්හි මහත්වූ ආලෝකයාගේ, මහත්වූ දීප්තියේ පහළවීම වෙයි. එකල්හි අඳුර නැත්තේ වෙයි. එකල්හි රෑ දාවල් පෙනෙත්. මාස අර්ධ මාසයෝ පෙනෙත්. ඍතු වර්ෂයෝ පෙනෙත්.

[3] “මහණෙනි, එසේම යම්තාක් අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේ ලොකයෙහි පහළ නොවේද ඒ තාක් මහත්වූ ආලොකයාගේ, මහත්වූ දීප්තියේ පහළවීම නොවෙයි. එකල්හි ගනඳුර ඒතාක් චතුරාර්‍ය්‍ය සත්‍යය දැකීමක් දෙශනාකිරීමක්, පැණවීමක්, තැබීමක්, විවරණය කිරීමක්, බෙදීමක් උඩුකුරු කිරීමක් නොවෙයි. මහණෙනි, යම් තැනක පටන් අර්හත්වූ, සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙමේ ලොකයෙහි පහළ වෙයිද, එකල්හි මහත්වූ ආලොකය සහ දීප්තිය පහළ වෙයි. එකල්හි ගනදුර දුරුවෙයි. එකල්හි චතුරාර්‍ය්‍ය සත්‍යය කීම, දෙශනාකිරීම, පැණවීම, තැබීම, විවරණයකිරීම, බෙදීම උඩුකුරු කිරීම වෙයි. කවර සතරක්ද?

[4] “දුක්ඛාර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ සමුදය ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරොධ ආර්‍ය්‍ය සත්‍යය, දුක්ඛ නිරොධ ගාමිනී ප්‍රතිපදා ආර්‍ය්‍ය සත්‍යය වෙත්.

[5] (මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.)