සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

4. සිංසපා වර්ගය

9. ඉන්ද ඛීලොපම සූත්‍රය

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි නොදනිත්ද, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි නොදනිත්ද, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුක නැතිකිරීමයයි තත්වූ පරිදි නොදනිත්ද, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි නොදනිත්ද, ඔවුහු අන්‍යවූ ශ්‍රමණයකුගේ හෝ බ්‍රාහ්මණයකුගේ හෝ මුහුණ බලත්. මේ පින්වතා ඒකාන්තයෙන් දැනගත යුත්ත දනී. දැක්ක යුත්ත දකීය” කියායි.

“මහණෙනි, යම්සේ සමභූමිභාගයෙහි තබන ලද්දාවූ සැහැල්ලුවූ වාතයෙන් ගෙනයන්නාවූ ඉඹුල් පුළුන් හෝ කපු පුළුන් හෝ වේද, එය පෙරදිග වාතයෙන් අපරදිගට ගෙන යන්නේය. අපරදිග වාතයෙන් පෙරදිගට ගෙනයන්නේය, උතුරුදිග වාතයෙන් දකුණුදිගට ගෙනයන්නේය, දකුණුදිග වාතයෙන් උතුරුදිගට ගෙනයන්නේය. ඊට හේතුව කවරේද? මහණෙනි, කපු පුළුන් සැහැල්ලු බැවිනි.

“මහණෙනි, එසේම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි නොදනිත්ද, මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි නොදනිත්ද, මෙය දුක නැති කිරීම යයි තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි නොදනිත්ද, ඔවුහු අන්‍යවූ ශ්‍රමණයෙකුගේ හෝ බ්‍රාහ්මණයෙකුගේ හෝ මුහුණ බලත්. “මේ පින්වතා ඒකාන්තයෙන් දතයුත්ත දන්නේය. දැකිය යුත්ත දක්නේය” කියායි. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍ය සත්‍යය නොදක්නා ලද හෙයිනි.

“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුකට හේතුවයයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුක නැතිකිරීම යයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි දනිත්ද ඔවුහු අන්‍යවූ ශ්‍රමණයෙකුගේ හෝ බ්‍රාහ්මණයෙකුගේ හෝ මුහුණ නොබලත්. ‘මේ පින්වතා ඒකාන්තයෙන් දතයුත්ත දන්නේය. දැකිය යුත්ත දක්නේය” කියායි.

“මහණෙනි, යම්සේ ගැඹුරු බැස්ම ඇත්තාවූ මනාකොට සිටුවන ලද්දාවූ, නොසෙල්වෙන්නාවූ, කම්පානොවෙන්නාවූ, යකඩ කණුවක් හෝ ලී කණුවක් හෝ වෙයිද, එය පෙරදිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පානොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය. නොසැලෙන්නේය. අපරදිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පා නොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය. නොසැලෙන්නේය. උතුරු දිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පා නොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය, නොසැලෙන්නේය. දකුණු දිගින් හමන්නාවූ මහත්වූ කුණාටුවකින්ද කම්පා නොවන්නේය. නැවත නැවත කම්පා නොවන්නේය. නොසැලෙන්නේය. ඊට හේතුව කවරේද? මහණෙනි, කණුව ගැඹුරෙහි බස්වා මනාව සිටුවන ලද බැවිනි.

“මහණෙනි, එසේම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුකට හේතුව යයි තත්වූ පරිදි දනිත්ද, මෙය දුක නැතිවීමයයි තත්වූ පරිදි දනිත්ද, මේ දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි දනිත්ද, ඔවුහු අන්‍ය ශ්‍රමණයෙකුගේ හෝ බ්‍රාහ්මණයෙකුගේ හෝ මුහුණ නොබලත්. “මේ පින්වතා ඒකාන්තයෙන් දතයුත්ත දන්නේය. දැකිය යුත්ත දක්නේය” කියායි. ඊට හේතුව කවරේද? චතුරාර්‍ය්‍ය සත්‍යය මනාකොට දක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද?

(මේ ඡෙදය මේ වර්ගයේ 8 වෙනි සූත්‍රයේ 4 වෙනි ඡෙදය මෙනි.)

(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.)