සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

5. පපාත වර්ගය

2. පපාත සූත්‍රය (හෝ) පටිභාණකූට සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භිකෂූන්හට අඬගා මෙසේ වදාළේය.

[2] “මහණෙනි, යමු. පටිභානකූටය යම් තැනෙක්හිද, එතැන දවල් වාසය පිණිස පැමිණෙමු” කියායි. “එසේය ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්ෂූන් හා සමග ‘පටිභානකූටය’ යම් තැනෙක්හිද එතැනට වැඩිසේක

[3] එක්තරා භික්ෂුවක් වනාහි පටිභාන පර්වතයෙහි මහත්වූ ප්‍රපාතයක් දුටුවේය. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, මේ ප්‍රපාතය විශාලය. ස්වාමීනි, මේ ප්‍රපාතය අතිශයින් විශාලය. ස්වාමීනි, මේ ප්‍රපාතයට වඩා විශාල වූත්, භයානකවූත් වෙන ප්‍රපාතයක් ඇත්තේද?” කියායි.

“මහණ, මෙයට වඩා විශාලවූත්, භයානකවූත් වෙන ප්‍රපාතයක් ඇත්තේය.

“ස්වාමීනි, මේ ප්‍රපාතයට වඩා විශාලවූත් භයානකවූත් අන්‍යවූ ප්‍රපාතය කවරේද?”

[4] “මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි නොදනිත්ද, මේදුකට හෙතුව යයි තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැතිවීම යයි තත්වූ පරිදි නොදනිත්ද, මේ දුක නැතිකරන මාර්ගයයි තත්වූ පරිදි නොදනිත්ද ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලෙත්. දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලෙත්. මරණය පිණිස පවතින්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලෙත්. ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලෙත්.

“ඔව්හු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලුනාවූ දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලුනාහු. මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලුනාහු ශොක, පරිදෙව, දුක්ඛ දොමනස්ස, උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි ඇලුනාහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කෙරෙත්. දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කෙරෙත්. මැරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කෙරෙත්. ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන්ද පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කෙරෙත්.

[5] “ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට, ජරාව පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට, ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස සහ උපායාස යන පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්කොට ඉපදීම් නැමති ප්‍රපාතයෙහිද වැටෙත්. ජරා නමැති ප්‍රපාතයෙහිද වැටෙත්. මරණය නමැති ප්‍රපාතයෙහිද වැටෙත්. ශොක පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන් පිණිස පවතින්නාවූ ප්‍රපාතයන්හිද, වැටෙත්. ඔවුහු ජාති-ජරා-මරණ-ශොක - පරිදෙව - දුක්ඛ - දොමනස්ස - උපායාසයන්ගෙන් නොමිදෙත්. දුකින් නොමිදෙත් යයි කියමි.

[6] “මහණ, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මෙය දුකයයි තත්වූ පරිදි දනිත්ද,

මෙය දුකට හේතුවයයි තත්වූපරිදි දනිත්ද, මෙය දුක නැතිකරන මාර්ගයයි තත්වූ පරිදි දනිත්ද, ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙත්. ජරාව පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නො ඇලෙත්. මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නො ඇලෙත්. ශොක-පරිදෙව-දුක්ඛ දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙත්.

[7] “ඔවුහු ඉපදීම, පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙන්නාහු ජරාව පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නො ඇලෙන්නාහු, මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙන්නාහු, ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන් කෙරෙහි නොඇලෙන්නාහු, ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්නොකෙරෙත්. ජරාව පිණිස පවත්නාවූ, සංස්කාරයන්ද රැස්නොකෙරෙත්. මරණය පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්නොකෙරෙත්. ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන් පිණිස පවත්නාවූ සංස්කාරයන්ද, රැස්නොකෙරෙත්.

[8] “ඔවුහු ඉපදීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස් නොකොට, දිරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්නොකොට, මැරීම පිණිස පවත්නාවූ සංස්කාරයන්ද රැස්නොකොට ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස උපායාසයන් පිණිස පවතින්නාවූ සංස්කාරයන්ද රැස්නොකොට, ඉපදීම් නමැති ප්‍රපාතයෙහිද නොවැටෙත්. දිරීම් නමැති ප්‍රපාතයෙහිද නොවැටෙත්. මැරීම නමැති ප්‍රපාතයෙහිද නො වැටෙත්. ශොක-පරිදෙව-දුක්ඛ-දොමනස්ස, උපායාසයන් පිණිස පවතින්නාවූ ප්‍රපාතයන්හිද නොවැටෙත්. ඔවුහු ජාති, ජරා, මරණ, ශොක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස උපායාසයන්ගෙන් මිදෙත්. දුක්ඛයන්ගෙන් මිදෙත්යයි කියමි.

[9] (මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 9 වෙනි ඡෙදය මෙනි.)