සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

5. පපාත වර්ගය

5. ලිච්ඡවි සන්ථාගාර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහ වනයෙහිවූ කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ උදය කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන විසාලා මහනුවරට පිණ්ඩපාතයේ වැඩියහ.

ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වනාහි ශාස්ත්‍රශාලාවෙහි ඉගෙණ ගන්නාවූ දුරදීම සියුම්වූ යතුරු සිදුරෙන් මුල් හීයේ අග දෙවෙනි හීයේ මුල වදිනසේ නොවරද්දා හී විදින්නාවූ බොහෝ ලිච්ඡවී කුමාරයන් දැක්කේය. දැක, උන්වහන්සේට මේ සිත ඇතිවිය. ‘මේ ලිච්ඡවි කුමරුවෝ ඒකාන්තයෙන් (ශිල්පයෙහි) හික්මුණාහුය. ඒකාන්තයෙන් මේ ලිච්ඡවි කුමරුවෝ අතිශයින් හික්මුණාහුය. යම්හෙයකින් දුරදීම සියුම්වූ යතුරු සිදුරෙන් මුල්හීයේ අග දෙවෙනි හීයේ මුල වදිනසේ නොවරද්දා හී විදිත්ද එහෙයිනි”

ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසාලා මහනුවර පිඬු පිණිස හැසිර සවස පිණ්ඩපාතයෙන් වැළකුණේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ හට මෙය කීයේය.

“ස්වාමීනි, මම මෙහිදී උදේ කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන විසාලා මහනුවරට පිඬු පිණිස පැමිණියෙමි. ස්වාමීනි, එහිදී මම ශාස්ත්‍ර ශාලාවෙහි ඉගෙන ගන්නාවූ, දුරදීම සියුම්වූ යතුරු සිදුරෙන් මුල් හීයේ අග දෙවෙනි හීයේ මුල වදිනසේ නොවරද්දා හී විදින්නාවූ බොහෝ වූ ලිච්ඡවි කුමාරයන් දැක්කෙමි. දැක මට මේ සිත ඇතිවීය. “මේ ලිච්ඡවි කුමරුවෝ ඒකාන්තයෙන් (ශිල්පයෙහි) හික්මුණාහුය. මේ ලිච්ඡවි කුමරුවෝ ඒකාන්තයෙන් විශෙෂයෙන් හික්මුණාහුය. යම් හෙයකින් දුරදීම සියුම් වූ යතුරු සිදුරෙන් මුල් හීයේ අග දෙවෙනි හීයේ මුල වදිනසේ නොවරද්දා හී විදිත්ද එහෙයිනි”

“ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? යමෙක් දුරදීම සියුම් වූ කෙසි සිදුරෙන් මුල් හීයේ අග දෙවෙනි හීයේ මුල වදින සේ නොවරද්දා හී විදින්නේද, යමෙක් සත්කඩක් කොට පලන ලද අස්ලොම් කොණක අස්ලොම් කොණක් වදින සේ විදින්නේද යන මේ දෙකින් කවරක් වනාහි අතිශයින් දුෂ්කර වූයේත් අතිශයින් නොවියහැකි වූයේත් වේද?”

“ස්වාමීනි, යමෙක් සත්කඩක් කොට පළන ලද අස්ලොම් කොණක අස්ලොම් කොණක් වදිනසේ විදින්නේ වේද මෙයම වනාහි අතිශයින් දුෂ්කර වූයේත් අතිශයින් නොවියහැකි වූයේත් වෙයි.”

“ආනන්දය, යමෙක් මෙය දුකයයි තත්වූ පරිදි දනීද, දුකට හේතුවයයි තත්වූ පරිදි දනීද දුක නැතිවීමයයි තත්වූ පරිදි දනීද මේ දුක නැති කරන මාර්ගයයි තත්වූ පරිදි දනියිද ඔවුහු ඊටද වඩා අතිශයින් දුෂ්කරවූද අතිශයින් නොවිය හැකි වූද විඳීමක් කරත්.”