සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

5. පපාත වර්ගය

8. දුතිය එකච්ඡිග්ගල සූත්‍රය

“මහණෙනි, යම්සේ මේ මහාපඨවිය එකම ජලාසයක් වන්නේද. එහි කිසියම් පුරුෂයෙක් එක් සිදුරක් ඇති විය දණ්ඩක් බහා ලන්නේය. ඒ වියදණ්ඩ පෙරදිග වාතයෙන් අපරදිගට ගසායන්නේය. අපරදිග වාතයෙන් පෙරදිගට ගසායන්නේය. උතුරුදිග වාතයෙන් දකුණුදිගට ගසායන්නේය. දකුණුදිග වාතයෙන් උතුරුදිගට ගසායන්නේය. එහි කණකැස්බෙක් වාසය කරන්නේය. ඌ සියවසකට සිය වසකට වරක් උඩට එන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද?”

“සිය වසකට සිය වසකට වරක් උඩ එන ඒ කැස්බා ඒ එක් සිදුරක් ඇති වියදණ්ඩෙහි බෙල්ල දමන්නේද?”

“ස්වාමීනි, මෙය බොහෝ කලකින් කරුණු යෙදෙන සැටියෙන් වියහැකිද වන්නේය.”

“යම්හෙයකින් සියක් වසකට සියක් වසකට වරක් උඩ එන්නාවූ ඒ කැස්බා එක් සිදුරකින් යුත් වියදණ්ඩෙහි බෙල්ල ඇතුල් කරන්නේද. මහණෙනි, එපරිද්දෙන් බොහෝ කලකින් කරුණු යෙදෙන සැටියෙන් මිනිසත් බවක් ලබන්නේය.

“මහණෙනි, එපරිද්දෙන් බොහෝ කලකින් කරුණු යෙදෙන සැටියෙන් අර්හත් සම්‍යක්සම්බුද්ධවූ තථාගත තෙමේ ලොව උපදින්නේය. මහණෙනි, එපරිද්දෙන් බොහෝ කාලයකින් කරුණු යෙදෙන සැටියෙන් තථාගතයන් විසින් දෙසිත ධර්මවිනය ලෝකයෙහි බබලන්නේය. මහණෙනි, ඒ මිනිසත් බව ලබන ලදී. ලෝකයෙහි ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතතෙමේ පහළවිය. තථාගතයන් විසින් අවබොධ කරනලද ධර්ම විනය ලෝකයෙහි බබලන්නේය.”