සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

5. පපාත වර්ගය

9. පඨම සිනෙරුසක්ඛරොපම සූත්‍රය

“මහණෙනි, යම්සේ පුරුෂයෙක් මුංඇට සතක් පමණවූ ගල්කැටයක් මහාමේරු පර්වතයාගේ සමීපයෙහි තබන්නේය. මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මුංඇට සතක් පමණවූ ඒ ගල්කැටයක් මහාමේරු පර්වතයත් යන දෙකින් කුමක් මහත් වන්නේද?”

‘ස්වාමීනි, ඒ මහාමේරු පර්වතයම ඉතා මහත් වන්නේය. මුංඇට සතක් පමණවූ ගල ඉතා කුඩාය. ඒ තබනලද මුංඇට සතක් පමණවූ ගල්කැටය මහාමේරු පර්වතය හා සසඳන කල ගණනකට නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”

“මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මෙය දුකයයි තත්වූ පරිදි දැනගනියිද මේ දුකට හේතුවයයි තත්වූ පරිදි දැනගනියිද, මේ දුක නැතිකිරීම යයි තත්වූපරිදි දැනගනියිද, මේ දුක් නැතිකිරීමේ මාර්ගයයි තත්වූ පරිදි දැනගනියිද, චතුස්සත්‍ය අවබොධ කළාවූ සෝවාන්වූ ඒ ආර්‍ය්‍ය පුද්ගලයා විසින් ක්ෂය කරනලද කෙළවර කරනලද දුකම අතිශයින් විශාලය. ක්ෂය කරනලද, කෙළවර කරනලද පළමු දුඃඛ ස්කන්ධය හා සසඳනකල භව සතකට සීමාවූ ඒ ඉතිරිව පවත්නාවූ දුක ගණනටද නොගැනේ. උපමාවටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.