සංයුත්තනිකායො

සගාථ වර්ගය

6. බ්‍රහ්ම සංයුත්තය

1. ප්‍රථම ( කොකලික ) වර්‍ගය

10. දෙවෙනි කෝකාලික සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. ඉක්බිති කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූ කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ’’ස්වාමීනි, සැරියුත් මුගලන් තෙරහු ලාමක අදහස් ඇත්තාහු ලාමක අදහස්වලට වසඟවූවාහුය.’’

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙසේ වදාළසේක: ’’එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.’’

දෙවනුවත් කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි විශ්වාසකට හැක්කේය, ඇදහියයුතු කථා ඇත්තේය, එසේ වුව සැරියුත් මුගලන් තෙරහු පවිටු අදහස් ඇත්තෝය, පවිටු අදහස්වලට වසඟ වූවාහුය.’’

දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙසේ කීය: ’’එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.’’

තුන්වෙනුවත් කෝකාලික භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි විශ්වාසකට හැක්කේය, ඇදහියයුතු කථා ඇත්තේය, එසේ වුව සැරියුත් මුගලන් තෙරහු පවිටු අදහස් ඇත්තෝය, පවිටු අදහස්වලට වසඟ වූවාහුය.’’

තුන්වෙනුවද භාග්‍යවතුන් වහන්සේ කෝකාලික භික්‍ෂුවට මෙය කීය: ’’එසේ නොකියව, කෝකාලික, එසේ නොකියව, කෝකාලික, කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව, සැරියුත් මුගලන් දෙනම ශීලවන්තයෝය.’’

ඉක්බිති කෝකාලික භික්‍ෂුතෙම අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ, ප්‍රදක්‍ෂිණාකොට ගියේය. එසේගොස් නොබෝ වේලාවකින් කෝකාලික භික්‍ෂුවගේ සකල ශරීරය අබැට පමණවූ පිළිකාවලින් පැතුරුනේ විය. අබ ඇට පමණව, මුං ඇට පමණ විය. මුං ඇට පමණව කඩල පමණ විය. කඩල ඇට පමණව ඩෙබර ඇට පමණ විය. ඩෙබර ඇට පමණව නෙල්ලි පමණ විය. නෙල්ලි පමණව නොපැසුණු බෙලි පමණ විය. නොපැසුණු බෙලි පමණව බෙලි පමණ විය. බෙලි පමණව ගැහුනේය. සැරවද ලේද වැගිරිණි.

ඉක්බිති කෝකාලික භික්‍ෂුව ඒ ලෙඩින්ම මැරුණේය. මැරුණාවූ කෝකාලික භික්‍ෂුතෙම සැරියුත් මුගලන් කෙරෙහි වෛර බැඳ පදුම නිරයෙහි උපන්නේය.

ඉක්බිති සහම්පති බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉකුත් කල සියලු ශරීර ආලෝකයෙන් ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවත්හු වැඳ එකතපසෙක සිටියේය. එකත්පසෙක හුන් සහම්පති බ්‍රහ්මතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය: ’’ස්වාමීනි, කෝකාලික භික්‍ෂුතෙම මැරුණේය. මැරී සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ පදුම නරකයෙහි උපන්නේය.’’ සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙසේ කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්‍රදක්‍ෂිණා කොට එහිම අතුරුදහන්විය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඉක්මුණු පසු භික්‍ෂූන්ට කථාකළසේක. ’’මහණෙනි, මේ රාත්‍රියේ සහම්පති බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉකුත් කල සියලු ජේතවනය ශරීර ආලෝකයෙන් බබුළුවා මම යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, මා වැඳ එකතපස්ව සිටියේය. මහණෙනි, එකත්පස්ව සිටි බ්‍රහ්මතෙම මට මෙය කීය: ’’ස්වාමීනි, කෝකාලික භික්‍ෂුතෙම මැරුණේය. ස්වාමීනි, මැරී කෝකාලික භික්‍ෂුතෙම සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ පදුම නිරයට උත්පත්තිය වශයෙන් පැමිණියේය.’’ මහණෙනි, සහම්පති බ්‍රහ්මතෙම මෙය කීය. මෙය කියා මා වැඳ ප්‍රදක්‍ෂිණා කොට එහිම අතුරුදහන්විය.’’

මෙසේ කීකල එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය: ’’ස්වාමීනි, පදුම නිරයෙහි ආයුෂ කොපමණ දිගද?’’ ’’මහණෙනි, පදුම නිරයෙහි ආයුෂ ප්‍රමාණය දිග්මය, වර්‍ෂ මෙපමණැයි හෝ ශත වර්‍ෂ මෙපමණැයි හෝ සහශ්‍ර වර්‍ෂ මෙපමණැයි හෝ සතසහශ්‍ර වර්‍ෂ මෙපමණැයි හෝ සංඛ්‍යා කිරීමට පහසු නොවේ.’’

’’ස්වාමීනි, උපමා කළ හැකිද?’’

’’හැකිය මහණෙනි’’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ’’ මහණෙනි, යම්සේ කොසොල්රට සංඛ්‍යායෙන් වීසතිඛාරිකයෙක් (දෝන තුන්සිය විස්සක් ) ඇති තල කරත්තයක් වේ නම් එයින් පුරුෂයෙක් වර්‍ෂ සියයක් හෝ දාහක් අවෑමෙන් එක් තල ඇටයක් බැගින් ඉවත දමන්නේනම් මහණෙනි, ඒ කොසොල්රට සංඛ්‍යායෙන් වීසතිඛාරිකයෙක් ඇති තල කරත්තය ඉතා ඉක්මනින් මේ අයුරින් ගෙවීමෙන් අවසානයට යන්නේය, එහෙත් එතරම් ඉක්මනින් එක අර්බුද නරකයෙක ආයුෂ නොගෙවෙන්නේමය. මහණෙනි, අර්බුද නරකයට අයත් කාල ප්‍රමාණයෙන් විසි ගුණයෙන් නිරර්බුද නරකයෙහි එක් කාලයෙකි. මහණෙනි, නිරබ්බුද නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් අබබ නරකයෙහි එක් කාලයෙකි.මහණෙනි, අබබ නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් අටට නරකයට අයත් කාලයෙකි. මහණෙනි, අටට නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙන් එක් අහහ නරකයට අයත් කාලයකි. මහණෙනි, අහහ නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් කුමුදු නරකයට අයත් කාලයෙකි. මහණෙනි, කුමුදු නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් සෝගන්‍ධික කාලයෙකි. මහණෙනි, සෝගන්‍ධික නරක ප්‍රමාණයෙන් විංශති ගුණයෙක් එක් උප්පල නරකයට අයත් කාලයෙකි. මහණෙනි, උප්පල නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක පුණ්ඩරීක නරකයට අයත් කාලයෙකි. මහණෙනි, පුණ්ඩරීක නරක ප්‍රමාණයෙන් විසි ගුණයෙක් එක් පදුම නරකයට අයත් කාලයෙකි. මහණෙනි, කෝකාලික භික්‍ෂුව සැරියුත් මුගලන් දෙතෙරුන් කෙරෙහි වෛර බැඳ උපන්නේ පදුම නිරයෙහිය.’’

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: සුගතවූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා ඉක්බිතිව මෙසේද වදාළසේක:

’’ මෙලොව උපන් තැනැත්තාගේ මුඛයෙහි කෙටේරියක් ඇත්තේය. නපුරු වචන කියන අන්‍ධබාල දුර්ජනතෙම ඒ කෙටේරියෙන් තමාම වනසයි.

’’ යමෙක් නින්‍දා කටයුත්තාට ප්‍රශංසාද, ප්‍රශංසා කටයුත්තාට නින්‍දා හෝ කෙරේද, හෙතෙම මුඛයෙන් අපරාධ රැස් කර ගනී ඒ අපරාධ කරණකොට සුවයක් නම් නොවිඳී.

’’ යම් වස්තු පරාදයෙක් වේද, තමනුත් සමග ස්වකීය සියලු දේ සම්බන්‍ධ ඒ අපරාධය ස්වල්පයි. යම් කිසිවෙක් යහපත්ව ගිය පුද්ගලයන් ( රහතුන් ) කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේද, මේ වනාහි ( ඊට වඩා ) ඉතා විශාලවූ අපරාධයයි.

’’ ලාමකවූ වචනයෙන්ද, සිතෙන්ද, ආර්‍ය්‍යයන්ට ගරහන පුද්ගලතෙම යම් නරකයකට උප්පත්ති වශයෙන් පැමිණේද, ( එහි ආයුෂ ) නිරබ්බුදයන් සිය දහසෙක් හා ( නිරබ්බුද ) සතිසෙක්ද අර්බුද පසෙක්ද වේ.’’

ප්‍රථම වර්‍ගයයි.