සංයුත්තනිකායො

සගාථ වර්ගය

6. බ්‍රහ්ම සංයුත්තය

1. ප්‍රථම ( කොකලික ) වර්‍ගය

9. තුදු බ්‍රහ්මා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටානන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල්හි වනාහි කෝකාලික භික්‍ෂුතෙම හටගත් ආබාධ ඇත්තේ දුක් වූයේද දැඩි ගිලන් වූයේද වී.

ඉක්බිති ප්‍රත්‍යෙකබ්‍රහ්මවූ තුදු බ්‍රහ්මතෙම රෑ පෙරයම ඉකුත්වූ කල සියලු දෙව්රම් වෙහෙර තමාගේ ශරීර ආලෝකයෙන් බබුළුවා කෝකාලික භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, අහස සිට කෝකාලික භික්‍ෂුහට මෙසේ කීය:

’’කෝකාලික, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් තෙරහු ශීලවන්තයෝය.’’

’’ ඇවැත්නි, නුඹ කවරෙක්ද?’’

’’ මම තුදු නව් පච්චේක බ්‍රහ්ම වෙමි.’’

’’ඇවැත්නි, නුඹ අනාගාමි ( මේ කාම ලෝකයට නැවත නොඑන්නේ ) යැයි භාග්‍යවතුන් වහනසේ විසින් ප්‍රකාශ කරන ලද්දේ නොවේද? එසේ කල්හි මෙහි කුමකට ආයෙහිද? නුඹ විසින් කොතරම් අපරාධයෙක් කරන ලදදැයි බලව.’’

( බ්‍රහ්මතෙම මෙසේ කීය. )

’’( මෙලොව ) උපන් පුද්ගලයාගේ මුඛයෙහි කෙටේරියක් ඇත්තේය. නපුරු වචන කියන අන්‍ධබාල ( දුර්ජන ) තෙම තමාම නසාගනියි.

’’ යමෙක් නින්‍දා කටයුත්තා ප්‍රශංසා කරාද, ප්‍රශංසා කටයුත්තා ගර්හා කෙරේද, ඒ පුඟුල්තෙම මුවින් අපරාධ රැස් කර ගනී. ( හෙතෙම ) ඒ අපරාධ කරණකොටගෙන සුවයක් නම් නොවිඳී.

’’ යම් වස්තු පරාදයෙක් වේද, තමනුත් සමග ස්වකීය සියලු දේ සම්බන්‍ධ ඒ අපරාධය ස්වල්පයි. යම් කිසිවෙක් යහපත් මගින් ගිය පුද්ගලයින් ( රහතුන් ) කෙරෙහි සිත දූෂ්‍ය කරන්නේද, මේ වනාහි මහත් අපරාධය වෙයි.

’’ ලාමකවූ වචනයෙන්ද, සිතෙන්ද, ආර්‍ය්‍යන්ට ගරහන පුද්ගලතෙම යම් නරකයකට උත්පත්ති වශයෙන් පැමිණේද, ( එහි ආයුෂ ) නිරබ්බුදයන් සිය දහසෙක් හා ( නිරබ්බුද ) සතිසෙක්ද, අර්බුද පසෙක්ද වෙත්.’’