සංයුත්තනිකායො

සගාථ වර්ගය

7. බ්‍රාහ්මණ සංයුත්තය

1. අරහන්ත වර්‍ගය

1. ධනඤජානි සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප ( නම්වූ ) වේළුවනයෙහි වැඩවසනසේක.

එකල වනාහි භාරවාජ ගෝත්‍රයෙහිවූ එක්තරා බමුණකුගේ ධනඤජානී නම්වූ බැමිණිය බුදුන් කෙරෙහිද ධර්‍මය කෙරෙහිද සඞඝයා කෙරෙහිද අතිශයින් සතුටුවූවාය.

ඉක්බිති ධනඤජානී බැමිණිය භාරවාජ ගෝත්‍රයෙහිවූ බමුණාහට බත් ලඟට පමුණුවන්නී ’’ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේට නමස්කාරය වේවා’’ ’’ භාග්‍යවත්වූ අර්හත්වූ ඒ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේට නමස්කාරය වේවා’’ ’’ භාග්‍යවත්වූ අර්හත්වූ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේට නමස්කාරය වේවා’’ තුන් වරක් වැරෙන් ප්‍රීති වාක්‍ය කීවාය.

මෙසේ කී කල්හි භාරවාජ ගෝත්‍රයෙහිවූ බමුණුතෙම ධනඤජානී බැමිණියට මෙය කීය: ’’මේ වසලිය මෙපරිද්දෙන් වනාහි එතැන මෙතැන ඒ මුඩු මහණහුගේ ගුණ කියයි. වසලිය, දැන මම තීගේ ඒ ශාස්තෲවරයාට වාදයක් ආරෝපනය කරන්නෙමි.’’

’’ බ්‍රාහ්මණය, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත ප්‍රජාව කෙරෙහි යමෙක් ඒ භාග්‍යවත්වූ අර්හත්වූ සම්‍යක් සම්බුදුරජානන් වහන්සේට වාදාරෝපනය කරන්නේනම්, එවැන්නකු මම නොදකිමි. එසේවුව, බමුණ, තෝ යව, ගොස් දැනගනුව’’ යි ( ඕ තොම කීවාය.)

ඉක්බිති භාරවාජ ගෝත්‍රික බමුණුතෙම කිපීයේ, නොසතුටු සිත් ඇත්තේ, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කෙළේය. සතුටුවියයුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හුන්නේය.

එකත්පසෙක හුන් භාරවාජ ගෝත්‍රික බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙකින් ( මෙසේ ) කීය:

’’ ගෞතමයෙනි, කුමක් නසා සුවසේ සයනය කෙරේද? කුමක් නසා ශෝක නොකෙරේද? කිනම් එකම ධර්‍මයක්හුගේ විනාශය නුඹ රුස්නහුද?’’

’’බමුණ, ක්‍රෝධය නසා සුවසේ සයනය කෙරෙයි. ක්‍රෝධය නසා ශෝක නොකෙරෙයි. විෂයට (දුක් විපාකයට ) මුල්වූ මිහිරි අග ඇති ක්‍රෝධය නැසීම ( බුද්‍ධාදී ) ආර්‍ය්‍යයෝ පුශංසා කරත්. ක්‍රෝධය, නසා ඒකාන්තයෙන් ශෝක නොකෙරේ.’’

මෙසේ කීකල භාරවාජ ගෝත්‍රික බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ’’පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, පින්වත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ’ ඇස් ඇත්තෝ රූප දකිත්වා ’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. ඒ මම භාග්‍යවත්වූ ගෞතමයන් වහන්සේද, ධර්‍මයද, භික්‍ෂු සංඝයාද පිහිටකොට යමි. මම පින්වත් ගෞතමයන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙම්, උපසම්පදාව ලබන්නෙම් ( නම් යෙහෙකැ )’’ යි කීය.

ඉක්බිති භාරවාජ ගෝත්‍රික බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද හා උපසම්පදාව ලදී. උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරවාජ භික්‍ෂුව වනාහි තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිත් ඇත්තේ, නොබෝ කලෙකින්ම, කුලපුත්‍රයෝ යමක් පිණිස ගිහි ගෙයින් නික්ම මනාව ශාසනයට පැවිදිවීම් වශයෙන් පැමිනෙත්ද, ඒ අනුත්තර බ්‍රහ්මචර්‍ය්‍යයාගේ කෙළවරවූ නිවන මේ ආත්මයෙහිම තෙමේ විශේෂ ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ විසුයේය. ’ ජාතිය ක්‍ෂයවූවා, බඹසර වැස නිමවන ලදී. සියලු මාර්‍ග කෘත්‍යය කරන ලදී. මෙයින් අන් ආත්මයෙක් නැතැ ’ යි ( හෙතෙම ) නිසැකව දත්තේය. ආයුෂ්මත් භාරවාජ භික්‍ෂුකෙම රහතන් අතුරෙන් එක්තරා කෙනෙක් විය.