සංයුත්තනිකායො
සගාථ වර්ගය
7. බ්‍රාහ්මණ සංයුත්තය
1. අරහන්ත වර්‍ගය
10. බහුධිනි සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වන ලැහැබෙක වසනසේක.
එකල භාරවාජගෝත්‍රික එක්තරා බමුණකුගේ ගොනුන් දහ හතර දෙනෙක් නැතිවූහ.
ඉක්බිති භාරවාජගෝත්‍රික බමුණුතෙමේ ඒ ගොනුන් සොයමින් වනලැහැබ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, එහි පළක් බැඳ ශරීරය කෙලින් පිහිටුවා සිහිය පරිමුඛ කොට වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දිටීය.
දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය, පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කීය:
’’මගේ ගොනුන් දහ හතර දෙනෙක් අදට සදවසක් පමණ දක්නට නැත. මේ ශ්‍රමණයන්ට එබන්දක් නැත්තෙන් ඒකාන්තයෙන් ඒ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි.
’’යම් හෙයකින් මේ ශ්‍රමණයන්ට කෙතෙහි කොළ එකක්වත් නැති ( ලාමක ) තලද, කොළ එකක් දෙකක් පමණ ඉතිරිවූ තලද, ඒකාන්තයෙන් නැත්තාහුද, එහෙයින්ම මේ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි.
’’හිස්වූ ධාන්‍යාගාරයෙහි මීයෝ දැඩි උත්සාහයෙන් නටති. මේ ශ්‍රමණයන්ට ඒකාන්තයෙන් එබන්දක් නැත. එහෙයින්ම මේ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි.
’’මාගේ තනපත් ඇතිරිය සත් මසක්ම ඉක්ම ගියේ එහිම උපන් ප්‍රාණීන්ගෙන් ගැවසී ගත්තේය. මේ ශ්‍රමණයන්ට ඒකාන්තයෙන් එවැන්නක් නැත. එහෙයින් මේ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි.
’’එක දරුවකු පමණක් ඇත්තාවූද, ( දරුවන් ) දෙදෙනෙතු ඇත්තාවූද, වැන්දඹුවූ දූවරු සත්දෙනෙක් මේ ශ්‍රමණයන්ට ඒකාන්තයෙන්ම නැත. එහෙයින් මේ ශ්‍රමණතෙම සැපසේ වාසය කරයි.
’’දුඹුරු පාටට තල ඇට වැනි කැලැල්වලින් ගැවසුණු ශරීරය ඇති ( මාගේ බැමිණි ) මා සයනය කළ විට පයින් ගසා ( මා ) පුබුදුවයි. යම් හේතුවකින් මේ ශ්‍රමණයන්ට ඒකාන්තයෙන් එබන්දක් නැත්ද, එහෙයින්ම මේ ශ්‍රමණතෙම සැප ඇත්තේ වෙයි.’’
’’උදෑසන ණය හිමියෝ වුත් ’අපට දෙව, අපට දෙව’ යි මට චෝදනා කෙරෙති. යම් හෙයකින් මේ ශ්‍රමණයන්ට එබඳු ණය නැත්තේද, එහෙයින්ම මේ ශ්‍රමණතෙම සුව ඇත්තේ වෙයි.’’
’’බමුණ, තාගේ ගොනුන් දහ හතර දෙන නැතිවී අදට සදිනක් නොදක්නා ලදී. බමුණ, යම් හෙයකින් මට එබන්දක් නැත්තේද, එහෙයින් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙමි.
’’බමුණ, තාගේ කෙතෙහි ලාමකවූ තලද, කොළ එකක් දෙකක් පමණ ඉතිරිව ඇත්තාවූ තලද වෙති. බමුණ, යම් හෙයකින් මට එබන්දක් නැත්තෙන්, මම ඒකාන්තයෙන් සුව ඇත්තේ වෙමි.
’’බමුණ, තාගේ හිස්වූ ධාන්‍යාගාරයෙහි මීයෝ දැඩි උත්සාහයෙන් නටති. බමුණ, එබඳු ධාන්‍යාගාරයක් මට නැත්තෙන් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙම් වෙමි.
’’බමුණ, තාගේ තනපත් ඇතිරිය සත්මසක් ඉත්ම ගියේ එහිම උපන් ප්‍රාණීන්ගෙන් ගැවසුනේය. බමුණ, යම් හේතුවකින් මට එවැන්නක් නැත්තේද, එහෙයින් ඒකාන්තයෙන් සුව ඇත්තෙම් වෙමි.
’’බමුණ, ( තට මෙන් ) එක දරුවකු පමණක් ඇත්තාවූද, දරුවන් දෙදෙනෙක් පමණක් ඇත්තාවූද, වැන්දඹුවූ දූන් සත්දෙනෙක් මට නැත. බමුණ, එහෙයින් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙම් වෙමි.
’’බමුණ, තල ඇට වැනි කැළල්වලින් ගැවසුණු ශරීරය ඇති තාගේ බැමිණිය නිදිගත් තා පයින් ගසා පුබුදුවයි. බමුණ, මට එවැන්නෙක් නැත. එහෙයින් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙම් වෙමි.
’’බමුණ, උදෑසන ණය හිමියෝ ( පැමිණ ) ’අපට දෙව, අපට දෙව’ යි කියා තට චෝදනා කෙරෙති. බමුණ, මට යම් හේතුවකින් එබඳු චෝදනාවක් නැත්තේද, එහෙයින් මම ඒකාන්තයෙන් සුව ඇත්තෙම් වෙමි.’’ ( යි වදාළහ. )
මෙසේ කී කල භාරවාජගෝත්‍රික බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ’’පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි.
’’ පින්වත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වසන ලද්දක් විවෘත කරන්නේද, මංමුළාවූවකුට මාර්‍ගය කියන්නේද, ’ ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ මම භාභ්‍යවතුන් වහන්සේද, ධර්‍මයද, සංඝයාද සරණකොට යමි. මම භවත් ගෞතමයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලබන්නෙමි.’’
භාරවාජගොත්‍රික බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලැබීය.
උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේව වෙසෙන්නේ, නොබෝ කලෙකින්ම, යම් අර්‍ථයක් පිණිස කුලපුත්‍රයෝ සසුනෙහි පැවිදිවෙත්ද, ඒ බඹසර කෙළවර ( වූ නිවන ) මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂකොට, එයට පැමිණ විසීය. ’ජාතිය ක්‍ෂයවූවා’, බ්‍රහමචර්‍ය්‍යාව වැස නිමවන ලදී. සියලු මාර්‍ග කෘත්‍යය කරනලදී. මේ ආත්මභාවයෙන් අන් ආත්මයෙක් නැතැ ’ යි යහපත්කොට අවබෝධ කෙළේය.
ආයුෂ්මත් භාරවාජ භික්‍ෂුව රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් විය.
පළමුවන අරහන්ත වර්‍ගයයි.