සංයුත්තනිකායො

සගාථ වර්ගය

7. බ්‍රාහ්මණ සංයුත්තය

2. උපාසක වර්‍ගය

4. මහාසාල ( නොහොත් ලුඛපාපුරණ ) සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

ඉක්බිත් එක්තරා මහත් වස්තුව ඇති බ්‍රාහ්මණයෙක් ජරාවට ගියේ ( දිරුණු වස්ත්‍ර ඇඳගත්තේ) භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවිය යුතු, සිහිකටයුතු, කථාකොට නිමවා එකත්පසෙක යුන්නේය. එකත්පසෙක හුන් ඒ මහාසාර බ්‍රාහ්මණයාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක: ’’බමුණ, තෝ කුමක් හෙයින් දිරාගියේ දිරාගිය පෙරවීම් ඇත්තෙහිද?’’

’’භවත් ගෞතමයන් වහන්ස, මාගේ පුත්තු සතරදෙනෙක් වෙති. ඔහු භාර්‍ය්‍යාවන්ගේ කීමට ගෙයින් එළවති’’ යි ( කීය. )

’’බමුණ. එසේවීනම් මේ ගාථාවන් ඉගෙන මහජනයා රැස්වූ සභායෙහි පුතුන්ද හුන්කල කියව:

’’ ’මට දාව උපන් යම් කෙනෙකුන් කරණකොට සතුටුවූයෙම්ද, යම් කෙනෙකුන්ගේ අභිවෘද්‍ධිය පැතූයෙම්ද, ඔවුහු භාර්‍ය්‍යාවන්ගේ කීමට බල්ලෙකු, ඌරෙකු එළවන්නාක් මෙන් මා එළවා දමති.’

’අසත්පුරුෂවූ, ලාමකවූ, රකුසෝ පුත්‍රයන් මෙන් පෙනී සිටිමින් මට ’පියාණනි, පියාණනි’ යි කියත්. ඔවුහු වයසට ගිය මා අත්හරිත්.’

’පරිභෝගයට ( වැඩගැනීමට ) සුදුසු නොවූ, දිරුණු අශ්වයෙක් යම්සේ කෑමෙන් වළකනු ලබන්නේද, බාලයන්ගේ පියවූ මහල්ලා අනුන්ගේ ගෙවල සිඟයි.’

’මේ දණ්ඩම ( සැරයටියම ) මට උතුම්ය. ( ඒ සැරයටිය ) නපුරු ගොනෙකුත් වළක්වයි. තවද නපුරු බල්ලන්ද වළක්වයි.’

’’( ඒ සැරයටිය ) අඳුරෙහි පෙරටුවෙයි. ගැඹුරු ජලයෙහි පිහිට සොයා දෙයි., දණ්ඩෙහි අනුසසින් පැකුළුණු තැනැත්තා නැවත පිහිටා ( කෙළින් ) සිටියි.’ ’’

ඉක්බිති මහාසාර බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් මේ ගාථාවන් ඉගෙන මහජනයා රැස්වූ සභායෙහි පුතුන්ද හුන්කල කීය:

’’බමුණ. එසේවීනම් මේ ගාථාවන් ඉගෙන මහජනයා රැස්වූ සභායෙහි පුතුන්ද හුන්කල කියව:

’’මට දාව උපන් යම් කෙනෙකුන් කරණකොට සතුටුවූයෙම්ද, යම් කෙනෙකුන්ගේ අභිවෘද්‍ධිය පැතූයෙම්ද, ඔවුහු භාර්‍ය්‍යාවන්ගේ කීම් ගෙන බල්ලෙකු, ඌරෙකු එළවන්නාක් මෙන් මා එළවති.

’’අසත්පුරුෂවූ, ලාමකවූ, රකුසෝ පුත්‍ර වේශයෙන් සිට මට ’පියාණනි, පියාණනි’ යි කියත්. ඔවුහු වයසට ගිය මා අත්හරිත්.

’’පරිභෝගයට ( වැඩගැනීමට ) නුසුදුසු දිරූ අශ්වයෙක් යම්සේ කෑමෙන් පහකරනු ලබන්නේද, බාලයන්ගේ පියවූ මහල්ලා අනුන්ගේ ගෙවල සිඟයි.

’’අකීකරුවූ මාගේ පුත්‍රයන්ට වඩා ( සැරයටිය ) නපුරු ගොනෙකුත් වළක්වයි. තවද බල්ලෙකුද වළක්වයි. ( ඔවුහු එසේ නොවළහති. )

’’( ඒ සැරයටිය ) අඳුරෙහි පෙරටුවෙයි. ගැඹුරු ජලයෙහි පිහිට (පතුල ) සොයා දෙයි. පැකුළුණු තැනැත්තේ දණ්ඩෙහි ආනුභාවයෙන් නැවත නැගිට සිටියි.’’

ඉක්බිති ඒ බමුණු මහසල් පුත්‍රයෝ ගෙට ගෙනගොස් නාවා වෙන වස්ත්‍ර දෙකක් හැන්දවූහ. ඉක්බිති ඒ බ්‍රාහ්මණ මහාසාල තෙම එක් වස්ත්‍ර යුග්මයක් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවිය යුතවූු, සිහිකටයුතුවූ, කථාකොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ඒ බමුණු මහසල් තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ’’පින්වත් ගෞතමයන් වහන්ස, අපි බමුණම්හ, ආචාර්‍ය්‍යයන්හට ආචාර්‍ය්‍ය ධනය සොයන්නම්හ. මාගේ ආචාර්‍ය්‍යවූ භවත් ගෞතමයන් වහන්සේ ඇදුරු කොටස ( ගුරුවරයාට අයිති කොටස ) පිළිගන්නා සේක්වා.’’ භාග්‍යවතුන් වහන්සේ අනුකම්පා උපදවා පිළිගත්සේක.

ඉක්බිති ඒ බ්‍රාහ්මණ මහාසාල තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ’’භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. යටිකුරු කරන ලද්දක් උඩුකුරු කරන්නේ හෝ වැසුනක් විවෘත කරන්නේ හෝ මංමුළාවකුට මාර්‍ගය කියන්නේ හෝ ’ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි තෙල් පහනක් දරන්නේ හෝ යම්සේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය පවසන ලද්දේය. ඒ ( ඇසූ ) මම භවත් ගෞතමයන් වහන්සේ හා ධර්‍මයද සඞ්ඝයාද සරණ කොට යෙමි. භවත් ගෞතමයන් වහන්සේ මා දිවිහිම් කොට සරණ ගිය උපාසකයකු සේ සලකන සේක්වා.’’