සංයුත්තනිකායො

සගාථ වර්ගය

7. බ්‍රාහ්මණ සංයුත්තය

2. උපාසක වර්‍ගය

6. පච්චනීක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල වනාහි පච්චනීකසාත නම් බමුණු තෙම සැවැත්නුවර වෙසෙයි. ඉක්බිති පච්චනීකසාත බමුණාහට මෙබඳු සිතෙක් විය: ’ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වැඩ වෙසෙන තැන යම් තැනෙකද එතැනට පැමිණෙම් නම් මැනවි. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ යමක් යමක් වදාරණසේක් නම් උන්වහන්සේගේ ඒ ඒ දෙයට මම විරුද්ධවාදියෙක් වන්නෙමි.’’

එකල භාග්‍යවතුන් වහන්සේ අභ්‍යවකාශයෙහි සක්මන් කරනසේක. ඉක්බිති පච්චනීකසාත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ සක්මන්කරන භාග්‍යවතුන් වහන්සේට අනුව සක්මන් කරමින් ’’ ශ්‍රමණය, ධර්‍මය කියව’’ යි කීය.

( එවිට භාග්‍යවතුන් වහන්සේ ) ’’විරුද්ධ දේ කීමෙන් සතුටු වන්නාවූ, ලෝභාදියෙන් කිලිටි සිත් ඇති, එකටෙක කිරීම බහුලකොට ඇතියෙකු විසින් ( තථාගතයන්ගේ ) සුභාෂිත ධර්‍මය හොඳාකාර නොදත හැක්කේය.

’’ යමෙක් චිත්තය සම්බන්‍ධ අපුසාදයද, බද්‍ධ වෛරයද අත්හැර එකට එක කිරීම නැති කරන්නේද, හෙතෙම ඒකාන්තයෙන් සුභාෂිතධර්‍මය අවබෝධ කරන්නේය’’ ( යි වදාළසේක. )

මෙසේ වදාළ කළ පච්චනීකසාත බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය: ’’ පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. ’’යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්‍ගය කියන්නේද, ’ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශකරන ලද්දේය. පින්වත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත උපාසකයෙකැයි සලකන සේක්වා.’’