සංයුත්තනිකායො

සගාථ වර්ගය

7. බ්‍රාහ්මණ සංයුත්තය

2. උපාසක වර්‍ගය

7. නවකම්මික සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී, එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට එක්තරා වනලැහැබෙක වසනසේක.

එකල වනාහි නවකම්මිකභාරවාජ බමුණුතෙම ඒ වනලැහැබෙහි කර්‍මාන්ත කරවයි. එක්තරා සල් රුකක් මුල පළක් බැඳ ශරීරය ඎජුව පිහිටුවා සිහිය ඉදිරියට එළවා හුන් භාග්‍යවතුන් වහන්සේ නවකම්මිකභාරවාජ බමුණුතෙම දිටීය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය: ’ මම මේ වනලැහැබෙහි කර්‍මාන්ත කරවමින් සතුටුවෙමි. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කුමක් කරවමින් සතුටුවනසේක්ද?

ඉක්බිති නවකම්මිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් ( මෙසේ ) කීය:

’’මහණ, සල් වෙනෙහි නුඹගේ කිනම් කර්‍මාන්ත කරවනු ලැබෙද්ද? ගෞතමයන් වහන්සේ යම්හෙයකින් මේ වෙනෙහි තනිව සතුට විඳින සේක්ද?’’

( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. ) ’’ මට මේ වෙනෙහි කටයුත්තෙක් නැත. මාගේ (ක්ලේශ ) වනය උදුරා දැමූ මුල් ඇත්තේය. එහෙයින්ම පහවගිය කෙලෙස් කටු ඇත්තේය. ඒ මම කෙලෙස් රහිතව කලකිරීම් පහව ගිය ( රාගාදී ) හුල් ඇත්තෙක්ව, විශේෂයෙන් පහකොට කනිව ප්‍රීතිය විඳිමි.’’

මෙසේ වදාළ කළ නවකම්මිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: ’’ පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන්වහන්ස, ඉතා මැනවි. ’යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවකුට හෝ මාර්‍ගය කියන්නේද, ’ඇස් ඇත්තෝ රූප දකිත්වා’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත්

ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්මය ප්‍රකාශකරන ලද්දේය. පින්වත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණගත් උපාසකයෙකැයි සලකන සේක්වා.’’