සංයුත්තනිකායො

සගාථ වර්ගය

7. බ්‍රාහ්මණ සංයුත්තය

1. අරහන්ත වර්‍ගය

4. බිලඞ්ගික සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක.

බිලඞ්ගිකභාරවාජ බමුණුතෙම ’භාරවාජ ගෝත්‍රික බමුණෙක් ගිහිගෙන් නික්ම ශ්‍රමණ ගෞතමයන් වෙත පැවිදිවීය,’ යනු ඇසීය. හෙතෙම කිපී නොසතුටුවී භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, නිශ්ශබ්දව එකත්පසෙක සිටියේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බිලඞ්ගික නම්වූ භාරවාජ ගෝත්‍රක බමුණාගේ සිත්හි කල්පනාව ස්වකීය සිතින් දැන බිලඞ්ගිකභාරවාජ බමුණාට ගාථායෙක් මෙසේ වදාළසේක:

’’යම් පුද්ගලයෙක් තෙම වරද නැතිවූ, පිරිසිදුවූ, කෙලෙස් නැතිවූ, පුරුෂයෙකුට අපරාධ කෙරේද, ඒ පාපය උඩු සුළඟට දමනලද සියුම් ධූලි මෙන් ඒ අඥානයා කරාම ආපසු එයි.’’

මෙසේ කීකල බිලඞ්ගිකභාරවාජ බමුණු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ’’පින්වත් ගෞතමයාණනි ඉතා මැනවි. පින්වත් ගෞතමයාණනි ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ’ ඇස් ඇත්තෝ රූප දකිත්වා ’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. ඒ මම ධර්‍මයද, සංඝයාද සහිත භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. පින්වත් ගෞතමයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලබන්නෙමි. බිලඞ්ගිකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබීය, උපසම්පදාවද ලැබීය. උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් බිලඞ්ගික භාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ, යම් අර්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම මනාව සස්නෙහි පැවිදිවෙත්ද, නොබෝ කලකින්ම ඒ නිරුත්තරවූ බ්‍රහ්මචර්‍ය්‍යයාව කෙළවරවූ නිවන මේ ආත්මයෙහිම තෙමේම විශේෂ ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ විසීය. නැවත නැවත ඉපදීම ක්‍ෂයවිය, බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුතු දේ කරනලදී. මෙයින් අනික් ආත්මයක් නැතැ ’ යි ( හෙතෙම ) මනාව දත්තේය.

ආයුෂ්මත් බිලඞ්ගික භාරවාජ භික්‍ෂුවද රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් විය.