සංයුත්තනිකායො

සගාථ වර්ගය

7. බ්‍රාහ්මණ සංයුත්තය

1. අරහන්ත වර්‍ගය

5. අහිංසක සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

ඉක්බිති අහිංසකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ හා, සතුටු සාමීචි කථා කෙළේය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ කථා නිමවා එකත්පසෙක හුන්නේය.

එකත්පසෙක හුන් අහිංසකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ’’පින්වත් ගෞතමයන් වහන්ස මම අහිංසක නම්. පින්වත් ගෞතමයන් වහන්ස මම අහිංසක නම්.’’

’’( ස්වකීය ) නාමය යම්සේද එසේම වන්නෙහි නම් තොප අහිංසකම වෙහි. යමෙක් කයින්ද, බසින්ද, සිතින්ද, හිංසා නොකෙරේද, යාමක් අන්‍යයකුත් නොවෙහෙසාද, හෙතෙම ඒකාන්තයෙන් අහිංසකයෙක්වේ.’’

මෙසේ කීකල අහිංසකභාරවාජ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ’’පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි.’’ යම්සේ යටිමුව කරන ලද්දක් හෝ උඩුමුව කරන්නේද, වැසුන දෙයක් හෝ විවෘත කරන්නේද, මංමුළාවූවකුට හෝ මාර්‍ගය කියන්නේද, ’ ඇස් ඇත්තෝ රූප දකිත්වා ’ යි අඳුරෙහි තෙල් පහනක් හෝ දරන්නේද, එසේම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේය. දැනගත්තේය.

ඒ මම ධර්‍මයද, සංඝයාද සහිත භවත් ගෞතමයන් වහන්සේ සරණකොට යමි. පින්වත් ගෞතමයන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පත්තිය ලබන්නෙමි. අහිංසකභාරවාජ බමුණුතෙම භාග්‍යවතුන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබීය, උපසම්පදාවද ලැබීය. උපසපන්වී නොබෝ කල් ඇති ආයුෂ්මත් අහිංසකභාරවාජ තෙම තනිවූයේ, වෙන්වූයේ, පමා නොවූයේ, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ, නිවන් පිණිස මෙහෙයූ සිතැත්තේ, යම් අර්‍ථයක් සඳහා කුලපුත්‍රයෝ ගිහිගෙන් නික්ම මනාව සස්නෙහි පැවිදිවෙත්ද, නොබෝ කලකින්ම ඒ නිරුත්තරවූ බ්‍රහ්මචර්‍ය්‍යයාව කෙළවරවූ නිවන මේ ආත්මයෙහිම තෙමේම විශේෂ ඥානයෙන් අවබෝධ කොට එයට පැමිණ විසීය. නැවත නැවත ඉපදීම ක්‍ෂයවිය, බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලදී. කළයුතු දේ කරනලදී. මෙයින් අනික් ආත්මයක් නැතැ ’ යි (හෙතෙම ) මනාව දත්තේය.

ආයුෂ්මත අහිංසකභාරවාජ භික්‍ෂුවද රහතුන් අතුරෙහි එක්තරා කෙනෙක් විය.