සංයුත්තනිකායො

සගාථ වර්ගය

8. වඞ්ගීස සංයුත්තය

3. පේසල අතිමඤඤනා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම අලව් රට අග්ගාළව චෛත්‍යයෙහි තමන්ගේ උපාධ්‍යායවූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප ස්ථවිරයන් වහන්සේ සමග වාස කෙරයි.

එකල ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම තමාගේ වැටහෙන ඥානය කරණකොට අනෙක් සිල්වත් භික්‍ෂූන් අවමන් කරන්නේය.

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරයන්ට මෙබඳු අදහසෙක් විය: ’මම මාගේ වැටහෙන ඥානය කරණකොට අනෙක් සිල්වත් භික්‍ෂූන් අවමන් කරන්නෙමි. එබඳුවූ මට ඉන් ඒකාන්තයෙන් අලාභයෝ වන්නාහ. ලාභයෝ නොවන්නාහ. මා විසින් ඒකාන්තයෙන් එයින් නපුරක්ම ලබන ලද්දේය. යහපතක් නොලබන ලද්දේය.’

ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිරතෙම තමාම තමා තුළම පසුතැවිල්ල උපදවා ඒ වේලායෙහි මේ ගාථාවන් කීය:

’’ගෞතමය මානය සම්පූර්‍ණයෙන්ම දුරුකරව. මානයේ අරමුණුද, මානය සමග උපදනා ධර්‍මද, හාත්පසින් බැහැර කරව. මානයාගේ අරමුණු සහ මානය සමග උපදනා ධර්‍මයන්දහිද මුළාවූ තැනැත්තේ බොහෝ කාලයක් මුලුල්ලෙහි පසුතැවිල්ල ඇත්තෙක් විය.

’’අනුන් ගුණ මකන ස්වභාවයෙන් මැකුනාවූ සත්ත්‍වයෝ මානයෙන් වැසුනාහු නරකයෙහි වැටෙත්. මානයෙන් වැනසුනු ඒ සත්ත්‍වයෝ නිරයෙහි ඉපිද දිගුකලක් මුළුල්ලෙහි ශෝක කෙරෙත්.

’’ආර්‍ය්‍ය මාර්‍ගයෙන් කෙලෙස් නැසූ සම්‍යක් ප්‍රතිපදාවෙහි මනාව පිළිපන්නාවූ මහණතෙම, කිසි කලෙකත් ශෝක නොකෙරේමය, හෙතෙම කීර්තියද, සුවයද අනුභව කරයි. ස්ථිර සිත් ඇති උන්වහන්සේ ධර්‍මය අවබෝධ කළ තැනැත්තේයයි කියත්.

’’එහෙයින් මේ ශාසනයෙහි කෙලෙස් බාධාවන් නැත්තාවූ වීර්‍ය්‍යයෙන් යුත් භික්‍ෂුතෙම නීවරනයන් පහකොට හාත්පසින් පිරිසිදුද වෙයි. සියලු මානය නසා, මාර්‍ග විද්‍යාවෙන් කෙලෙස් කෙළවර කරන්නෙක්ද වෙයි. කෙලෙසුන් සමනය කරන්නෙක්ද වෙයි.’’