සංයුත්තනිකායො

සගාථ වර්ගය

9. වන සංයුත්තය

11. අයෝනිසෝ ( නොහොත් විතක්කිත ) සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල වනාහි ඒ මහණතෙම දහවල් විවේකයට

ගියේ ලාමක අකුසල විතර්‍කයන් සිතයි. ඒ කවරේද? කාමයන් පිළිබඳ කල්පනාය, ව්‍යාපාදය පිළිබඳ කල්පනාය, විහිංසාව පිළිබඳ කල්පනාය යනුයි.

ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂුවට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ඒ භික්‍ෂුව සංවේග කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.

පැමිණ ඒ භික්‍ෂුවට ගාථායෙන් ( මෙසේ කීය:

’’නුනුවණින් මෙනෙහි කිරීම නිසා පාප විතර්කයන් විසින් පෙළනු ලබන්නෙහිය, මේ අනුවණ කමින් මෙනෙහි කිරීම බැහැර කරව, නුවණින් මෙනෙහි කිරීමෙන් කල්පනා කරව.

’’ශාස්තෲන්වහන්සේද, ධර්‍මයද, සඞ්ඝයාද මෙනෙහි කොට ඒකාන්තයෙන්ම ප්‍රීතියටද බලවත් ප්‍රීතියට හා සැපයටද, පැමිණෙන්නෙහිය. එයින් ප්‍රීතිය බහුල කොට ඇත්තෙක්ව දුක් කෙළවර කරන්නෙහිය.’’

ඉක්බිති ඒ මහණතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේගයට පැමිණියේය.