සංයුත්තනිකායො
සගාථ වර්ගය
9. වන සංයුත්තය
12. මජ්ඣන්තික ( නොහොත් සණික ) සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වසයි.
ඉක්බිති ඒ වනලැහැබ අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ, ඒ භික්‍ෂුව සමීපයෙහි මේ ගාථාව කීය:
’’ඉර මුදුන් කාලය පැමිණි කල්හි පක්‍ෂීන් සන්සුන්ව හුන් විට මහ වනය මහ හඬ පතුරුවන්නක් මෙනි. එය මට බියක් සේ වැටහෙයි.’’
( භික්‍ෂුව මෙසේ කීය:) ’’ඉර මුදුන් කාලය පැමිණි කල්හි, පක්‍ෂීන් සන්සුන්ව හුන් විට මහා වනය ශබ්ද කරන්නාක් මෙනි. ඒ මට හිතට මහත් සතුටක් සේ වැටහෙයි.’’