සංයුත්තනිකායො
සගාථ වර්ගය
9. වන සංයුත්තය
13. පාකතින්ද්රිය ( නොහොත් සම්බහුල භික්ඛු ) සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක බොහෝ භික්ෂූහු උඩඟු වූවෝ, උස්ව නැඟි මාන නළ ඇත්තෝ, චපල වූවෝ, අසංවර වචන ඇත්තෝ, මුළාවූ සිහි ඇත්තෝ, නුවණ නැත්තෝ, සමාධි නැත්තෝ, නොදැමුණු ඉන්ද්රිය ඇත්තෝ කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙති.
ඉක්බිති ඒ වන ලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්ෂූන්ට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ඒ භික්ෂූන් සංවේග කරනු කැමැත්තේ ඒ භික්ෂූන් යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ, ඒ භික්ෂූන්ට ගාථායෙන් ( මෙසේ ) කීය:
’’ගෞතම ශ්‍රාවකවූ භික්ෂූහු පෙර සැපවූ ජීවිකා වෘත්ති ඇත්තෝ වූහ. ආසා නැත්තෝව පිඬු සොයන්නෝ වූහ. ( ආශා ) රහිතයෝව සෙනසුන් සොයන්නෝ වූහ.
’’ලෝකයෙහි අනිත්‍ය බව දැන දුක් කෙළවර කළාහුය.
’’මම සංඝයාට ඇඳිලිකොට කියමි. ඇතැම් මහණ කෙනෙක් ගමෙහි ගම්මුදලියන් මෙන් තමා පෝෂ්‍ය කිරීමට අපහසු වූවෙක් කොට, කකා ක්ලේශයන්ගෙන් මුසපත්ව, අනුන්ගේ ගෙවල්වල නිදත්. ඔහු ( ආචාර්ය්ය උපාධ්‍යායන් විසින් ) බැහැර කරන ලද්දාහුය. පිහිට රහිතයෝය, ඔවුහු මළවුන් මෙනි.
’’යම් මහණ කෙනෙක් ප්‍රමාදව වෙසෙත්ද, ඔවුන් සඳහා මා විසින් මෙය කියන ලද්දේය. යම් මහණකෙනෙක් අප්‍රමාදව වෙසෙත්ද, උන්වහන්සේට මම නමස්කාර කරමි.’’
ඉක්බිති ඒ භික්ෂූහු ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේගයට පැමිණියෝය.