සංයුත්තනිකායො
සගාථ වර්ගය
9. වන සංයුත්තය
14. පදුමපුප්ඵ ( නොහොත් පුණ්ඩරීක ) සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා භික්‍ෂුවක් කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි.
එකල වනාහි ඒ භික්‍ෂුතෙම පිණ්ඩපාතය නිමවා බත් වළඳා පොකුණට බැස පියුමක් සිඹී.
ඉක්බිති වනාහි ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවා ඒ භික්‍ෂුව කෙරෙහි අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ, ඒ භික්‍ෂුව සංවේග කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ, ඒ භික්‍ෂුවට ගාථායෙන් ( මෙසේ ) කීය:
’’නොදෙන ලද්දාවූ යම් මේ නෙලුම් මලක් සිඹිනෙහිද, ඒ මෙය සොරකම් කිරීම් අතුරෙන් එක් කොට්ඨාසයෙකි, නිදුකාණෙනි, ( එහෙයින් ඔබ ) සුවඳ සොරෙක් වෙහිය.’’,
(භික්‍ෂුව මෙසේ කීය:) ’’මම මේ නෙලුම් මල ගෙන නොයමි, නොකඩමි, දුර සිට සිඹිමි, එසේ ඇති කල කවර කාරණයෙකින් සුවඳ සොරායයි කියනු ලැබේද?
’’යම් තවුසෙක් තෙම නෙලුම් අල හාරාද, පියුම් නෙලයිද, මෙසේ අපිරිසිදු කර්‍මාන්ත ඇති ඒ තවුස් තෙම කවර හෙයකින් සුවඳ හොරාය කියා හෝ මල් හොරාය කියා හෝ කියනු නොලැබේද?’’
( දේවතාවා මෙසේ කීය: ) ’’ඒ පුරුෂ තෙම බොහෝ පව් ඇත්තෙකි. හෙතෙම කිරිමවක් හැඳි වස්ත්‍රය ( මල මූත්‍රාදියෙන් ) ගැවසුනාක් මෙන්, කෙලෙසින් කිලිටිවූයේ වෙයි. එබඳු ඒ පවිටා කෙරෙහි මාගේ අවවාදයක් නැත. ( ඔබට නම් ) අවවාදයක් කියන්ට සුදුසු වෙමි.
’’බහුල කෙලෙස් නැත්තාවූ, නිරන්තරයෙන් පිරිසිදු භාවය සොයන්නාවූ පුද්ගලයාගේ කෙසඟක් පමණවූ දෝෂයද වළාපටලයක් පමණ වූවක් මෙන් වැටහේ.’’
( භික්‍ෂූව මෙසේ කීය: ) ’’යක්‍ෂය, තෝ මා ඒකාන්තයෙන් දන්නෙහිය. නැවතද මට අනුකම්පා කරන්නෙහිය. යම් කලෙක මෙබන්දක් දක්නෙහිද, යක්‍ෂය, මට නැවත ද ඒ කියව.’’
( දේවතාවා මෙසේ කීය: ) ’’මහණ, මම ඔබ නිසා ජීවත් නොවෙමි. ඔබගේ මෙහෙකරුවෙක්ද නොවෙමි. යම් කර්‍මයෙකින් සුගතියට යන්නේද, ( ඒ කර්‍මය ) ඔබම දනුව.’’
ඉක්බිති ඒ මහණ ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේගයට පැමිණියේය.
වනසංයුත්තය නිමියේය.