සංයුත්තනිකායො

සගාථ වර්ගය

9. වන සංයුත්තය

5. ආනන්‍ද සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම කොසොල් රට එක්තරා වනලැහැබෙක වෙසෙයි.

එකල වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම බොහෝ වේලා ගිහියන් සැනසීමෙහි යෙදී වෙසෙයි.

එකල්හි ඒ වනලැහැබ අරක්ගත් දේවතාවෙක් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට අනුකම්පා කරන්නේ, හිතවැඩ කැමැත්තේ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් සංවේග කරනු

කැමැත්තේ, උන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට ගාථායෙන් කීය:

’’රුක්මුල් සෙනසුන්හි විසීමට පැමිණ, නිර්‍වාණය හෘදයෙහි බහාගෙන වසන්නාවූ නුඹ වහන්සේට (ගිහියන් සමග කරන ) මේ බිලි බිලි කථාව කුමක් කරන්නේ ද? ගෞතම ශ්‍රාවකයන් වහන්ස, පුමාද නැත්තෙක් වව. භාවනාවෙහි යෙදෙව.’’

ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ මහත් සංවේග බවට පැමිණියේය.