ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

1. උරග වර්ගය

3. ඛග්ග විශාණ සූත්‍රය

සියලු සත්වයන් කෙරෙහි පහරන දඬුමුගුරු බහාතබා ඒ සියලු සතුන්ගෙන් එකෙකුට වත් වෙහෙස නොකරන්නේ තනිවූයේ එක පුත්‍රයෙකුත් නොකැමැති වන්නේය. යහළුවකු කොයින්ද හුදකලාවූයේ “කගවේනාගේ අඟ හා සමානව හැසිරෙන්නේය. (මේ වාක්‍යය මේ සූත්‍රයේ සෑම ඡෙදයක් අගට යෙදිය යුතුයි.)

“කයින් සිතින් උපන් එකතුවීම් බව ඇත්තාහට බලවත් රාගය වන්නේය. ස්නෙහය අනුව යන මේ දුක වන්නේය. නොහොත් සංසර්ගය ඇත්තාහට රාගය උපදනේය. ඒ ස්නේහය අනුව ගිය මේ දුක උපදනේය. රාගයෙන් උපන් දොෂය නුවණැසින් දක්නේ

මිත්‍රවූ සිතට ප්‍රියවූ හැමදෙනා කෙරෙහි දයා පවත්වන්නේ, පිළිබඳ සිත් ඇත්තේ යහපත නසන්නේය. මේ භය, මිත්‍ර සන්ථවයෙහි දක්නේ,

යම්සේ හුණපඳුර විශාලවූයේ අවුල්වූයේ උස්ව සිටියේද එසේම පුතුන් දූන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද යම් තෘෂ්ණාවෙක් ඇද්ද, ඒ තෘෂ්ණා තොමෝ හුණගොබය මෙන් නොඇලුනේය,

“නොබඳනාලද පසද මෘගතෙම උයන්හි ගොදුරු පිණිස යම් දිශාභාගයකින් අභිමත දිශාභාගයකට යනු කැමැත්තේද, ඒ දිශාභාගයෙන් යම්සේයේද, එපරිද්දෙන් තනිව හැසිරීම නුවණැසින් දක්නා පණ්ඩිත පුරුෂතෙම,

“යහළුවන් මැද සිටියහුගේද, දහවල් ශයනය කරන්නහුගේ ද උපස්ථාන කරණ තැන හුන්නහුගේද යමින් සිටියහුගේද චාරිකාවෙහි යන්නහුගේද මෙය අසව යනාදී ඇමතීම් වන්නේය. ආශා රහිත බවද තනිව හැසිරීම්ද නුවණැසින් දක්නේ හුදකලාවූයේ,

“යහළුවන් මැදදී ක්‍රීඩාවද, පස්කම්හි ඇල්මද වන්නේය. දූ පුතුන් කෙරෙහි බොහෝවූ ප්‍රේමයද වන්නේය. ප්‍රිය විප්‍රයොගයට පිළිකුල් කරන්නේ,

“හීන ප්‍රණීත චතුර්විධ ප්‍රත්‍යයෙන් සතුටු වන්නේද බ්‍රහ්මවිහාර වඩන සිවුදිග ඇත්තේ, ගැටීමක් නැත්තේවේද, හෙතෙම උපද්‍රවයන් ඉවසන්නේත්වේද, තැතිගැන්මක් නැත්තේද, වේද,

“සමහර පැවිදිවූවෝද නැවත ගිහිගෙයි නිවසන ගෘහස්ථයෝද, සංග්‍රහකොට හැක්කේය. අනුන්ගේ දරුවන් කෙරෙහි සංග්‍රහකිරීමට නිරුත්සාහව,

“ගිහි බව ප්‍රකාශ කරණ හිසකේ රවුළු ආදී ගිහිවෙස් පහකොට වැටුනු පත්‍ර ඇති කොබෝලීල ගසක් මෙන් ගිහීන්ට බන්ධනවූ පඤ්චකාම බන්ධනයන් සිඳ වීර්යයෙන් යුක්තවුයේ,

“වීර්ය ඇති එක්ව වසන සබඳයකු ඉදින් ලබන්නේ නම්, සියලු උපද්‍රවයන් මැඩගෙන ඒ සහාය ලාභයෙන් සතුටුවූයේ සිහියෙන් හැසිරෙන්නේය.

වීර්ය ඇති එක්ව වසන සබඳයකු ඉදින් නොලැබෙන්නේ නම් විරුද්ධ රජකු විසින් ජයගන්නාලද රට හැර යන රජෙකු මෙන් අසහායවූයේ

“එකාන්තයෙන් යහපත් සහායයන් ලැබීමට ස්තුති කරම්හ. තමහට වඩා ගුණයෙන් උසස්වූද සමවූද සබඳහු සෙවිය යුත්තෝය. මේ විප්‍රකාර සහායයන් නොලැබ දැහැමින් සෙමෙන් උපන් භොජනය වළඳන කුලපුත්‍රතෙමේ අසහායවූයේ,

“රන්කරු පුතු විසින් මොනවට කරණලද දෑතෙහි ගැටෙන්නාවූ බබලන සුළුවූ රනින් කළ සම්බන්ධවූ වළලු දැක කීපයක් ඇතිතැන ගැටීමත් එකක් ඇති තැන නොගැටීමත් සිතා පසේබුදු වීමි. මා සේ වනු කැමැත්තෝ,

“දෙවැන්නකු සමග බොහෝ කථාකිරීමද ස්නෙහයෙන් ඇල්මද යන මේ භය මත්තෙහි වන්නේයයි නුවණැසින් දක්නෙම් (පසේබුදු වීමි) අසහායව,

“රූපාදී වස්තුකාමයෝ වනාහී අනෙක ප්‍රකාරවූවෝ මියුරුවූවෝ සිත අලවන්නෝ නීලාදී විවිධ ස්වරූපයෙන් බාලපුහුදුන්ගේ සිත මඩිති. මා සේ වනු කැමැති කුලපුත්‍රතෙම පස්කම්ගුණ විෂයෙහි අගුණ නුවණැසින් දැක අසහායව,

“මාගේ පඤ්චකාම ගුණජාතය දුක් එළවන විපතකැයිද, ගෙඩියකැයිද, උපද්‍රවයයයිද, රොගයයයිද, හුලයයිද යන මේ භය අවබොධ කෙළෙමි. පඤ්චකාම ගුණයේ මේ බිය දැක මා සේ වනු කැමති අර්ථකාමී කුලපුත්‍ර තෙමේ අසහායව,

“අභ්‍යන්තර බාහිර ධාතු කිපීමෙන් වන සීතයද උෂ්ණයද සාදුක්ද පිපාසා දුක්ද සුලංද අව්වද, ඩැහැලේ බොන මැස්සන් හා දීර්ඝජාතීන්ද මේ සියලු දුක් අභිභවනයකොට ගෙන විදසුන්වඩා පසේබුදු වීමි. අනිකුත් මා සේ වනු කැමති කුලපුත්‍රතෙමේ,

“සුවසේ විසීම නිසා මනා ශරීර ඇති පියුම් පැහැති උදාරවූ ඇතු යම්සේ ඇත් රංචුව හැර කැමති පරිදි වනයෙහි වසන්නේය, හුදකලාවූ,

“ජනසමූහයා කෙරෙහි ඇලුනහුගේ ලෞකික සමාපත්තියට පැමිණීමවෙයි, යන යම් කාරණයක් ඇද්ද, එය නොසිදුවේය යන ආදිච්චබන්ධු බුදුන්ගේ මේ වාක්‍යය අසා සංගණිකායෙහි ඇලුම් හැර පසේ බුදුවීමි. මා සේ වනු කැමති කුලපුත්‍ර තෙමේ

“විදින අර්ථයෙන් දෘෂ්ටි සංඛ්‍යාත නපුරුකටුව ඉක්මවූයෙමි. සොවාන් මාර්ගයට පැමිණියෙමි. ලබන ලද ඉතිරි මාර්ගතුන ඇත්තෙමි. උපන්ඵල ඥාන ඇත්තෙම් අනුන් විසින් නොපැමිණ වියයුතුවූයේ අනික් දතයුතු ධර්මයක් නැත්තෙම් වෙමි. මා සේ වනු කැමති කුලපුත්‍රතෙමෙ,

“රස තෘෂ්ණාවට ලොල්නුවූයෙමි. කුහක නොවූයෙමි. පිපාසානැත්තෙමි. මකුගුණය නැත්තෙමි නසනලද කෙලෙස් කසට හා මොහය ඇත්තෙමි. සියලු ලොව භව විභව තෘෂ්ණා නැතිව පසේබුදුවීමි. (අන්‍යයාත්)

“පාපයෙන් යුක්තවූ අනර්ථය දක්වන කාය දුශ්චරිතාදී විසම දෙයෙහි ගැලුන යහළුවා විශෙෂයෙන් දුරුකරන්නේය. රූපාදියෙහි ඇලුනු පමාවූ ඔහු ආශ්‍රය නොකරන්නේය. එකාන්තයෙන්,

“පර්යාප්ති ප්‍රතිවෙධ ධර බහුශ්‍රැතවූ, ධර්මය ශ්‍රැත වශයෙන් ප්‍රතිවෙධ වශයෙන් දරණ, උදාරවූ වැටහීම් නුවණ ඇති කල්‍යාණ මිත්‍රයා භජනය කරන්නේය, මෙලොව පරලොව හා පරමාර්ථයන් දැන සැක නසා,

“ලොකයෙහිවූ ක්‍රීඩාද ඇල්මද රූපාදී කම්සැපයද සාරයයි නොගෙන ආලය නැත්තේ සැරහීමෙන් දුරුවූයේ සත්‍යය කියන සුළුවූයේ,

“දරුවන්ද භාර්යාවන්ද පියාණන් හා මෑණියන්ද දශවිධ රත්නයන්ද ධාන්‍යයන්ද බන්ධූන්ද සීමා වශයෙන් සිටියාවූ වස්තුකාමයන් හැර හුදකලාවූයේ,

“මේ උපභොගවූ පඤ්චකාමය එරෙන තැනකැයිද, මේ පස්කම්හි සැපය යන සැනසීම ස්වල්පයයිද පඤ්චකාම අරමුණුකොට ඇති සතුට ස්වල්පයයිද දුක බොහෝයයිද මේ පඤ්චකාමය විලියෙකැයිද නුවණැති පුරුෂතෙමේ දැන මේ සියල්ලහැර,

“ගඟදියෙහිදී නූලෙන් කළ දැළ බිඳගෙන පලාගිය මත්ස්‍යයා මෙන් කාම සංයොජනයන් ඒ ඒ මගින් නිසිලෙස විශෙෂයෙන් පලාහැර දවනලද ස්ථානයට නැවත නොඑන ගිනිමෙන් කාමගුණ ස්ථානයට නැවත නොඑන්නෙමි.

“යට බලා හෙලනලද ඇස් ඇත්තේ අනවශ්‍ය ගමන් නැත්තේ සංසුන් ඉඳුරන් ඇත්තේ, රක්නාලද සිත් ඇත්තේ, කෙලෙසුන්ගේ පැවතීම නැත්තේ ක්ලෙස ගින්නෙන් නොදවනු ලබන්නේ,

“ගිහිබව ප්‍රකාශ කරණ හිසකේ දැළිරවුළු ආදිය හැර බා තබා පියා ගිහිගෙන් නික්ම මනාවැසුණු පත්‍ර ඇති කොබෝලීල ගසක් මෙන් කාෂාය වස්ත්‍ර ඇත්තේ,

“රසයන්හි ගිජු බව නොකරන්නේ ලොල් නුවූයේ පොෂණය කටයුතු අන්‍යයෙකු නැත්තේ නොබැඳුනාවූ සිතින් කුලයක් පාසා පිළිවෙළින් (පිඬු පිණිස) හැසිරෙන්නේ,

“සිතට ඇවිරීම කරණ නීවරණයන් පස්දෙනා අත්හැර සියලු කිලුටු දුරුකොට දෘෂ්ටි ඇසුරු නොකළ රාගය සිඳ,

“ප්‍රථමධ්‍යාන භූමියෙහිම කායික සැප දුක්ද, දෙවෙනිධ්‍යාන ආසන්නයෙහි චෛතසික දුකද තෘතීය ධ්‍යානයට ආසන්නයෙහිම කායික සැපයද සතරවෙනි ධ්‍යානය ආසන්නයෙහිම චෛතසික සැපයද, පිටත්කොට හැර ඉතා පිරිසිදුවූ සතරවෙනි ධ්‍යාන උපෙක්ෂාව ඇති, සතරවෙනි ධ්‍යානසමාධිය ලැබ පසේබුදුවීමි.

“නිර්වාණයට පැමිණීම පිණිස පටන්ගන්නාලද වීර්ය ඇත්තෙම්, හැකුළුන සිත් නැත්තෙම් කම්මැළි සිත් නැත්තෙම් ස්ථිර වීර්ය ඇත්තෙම් ශරීර ශක්තියෙන්ද ඤාණ ශක්තියෙන්ද යුක්තවූයෙම් පසේබුදුවීමි.

“පසෙකටවීම හෝ කායවිවෙකයද, චිත්තවිවෙකයද, නොහරින්නේ විදර්ශනාවට යොග්‍ය ධර්මයන් විෂයෙහි නිතර අනුලොම විදර්ශනාවෙහි හැසිරෙන, තුන් භවයෙහි අගුණ දක්නාවූ මම පසේබුදුවීමි.

“නිර්වාණය පතන නොපමාවූ පණ්ඩිතවූ ව්‍යක්ත වචන ඇති ඇසූපිරූ තැන් ඇති සිහි ඇති සම්‍යක් ප්‍රධාන වීර්ය ඇති, නියතවූ දන්නාලද ධර්මය ඇත්තෙම් පසේ බුදුවීමි.

“බෙරශබ්දාදියෙහිද භය නොකරණ කෙශරසිංහයා මෙන් දැල නොබැඳෙන වාතය මෙන් දිය හා නොඇලෙන පද්මය මෙන් පසේබුදුවීමි.

“සිවුපාවුන් පෙලා පන්නා හැර හැසිරෙන වසීකොට ගෙන හැසිරෙන දත්බල ඇති කෙශර සිංහයා මෙන් රජ තෙමේ දුරැවූ හෝනා හිදිනා තැන් ආශ්‍රය කරන්නේ පසේ බුදුවීමි.

“විමුක්ති නම්වූ මෛත්‍රි ධ්‍යානයද කරුණා ධ්‍යානයද මුදිතා ධ්‍යානයද උපෙක්ෂා ධ්‍යානයද පහසු කාලයෙහි වඩන්නේ සියලු සත්වලොකයා හා විරුද්ධ නොවන්නේ පසේබුදුවීමි.

“රාගයද, ද්වෙෂයද, මොහයද ප්‍රහාණයකොට සංයොජනයන් ඒ ඒ මගින් පළවා හැර චුති චිත්තයාගේ බිඳීමෙහි භය නොකරන්නෙම් පසේබුදුවීමි.

“මෙකල තමා දෙස බලන අපිරිසිදු මිත්‍රයෝ ප්‍රයොයක් තකා ඇලෙති. ආශ්‍රයන් කෙරෙහි වැඩක් නොකැමැත්තාවූ ආර්යවූ මිත්‍රයෝ මෙකල ලැබීම දුර්ලභයි.

ඛග්ගවිසාණසුත්තං තතියං නිට්ඨිතං.