ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

1. උරග වර්ගය

4. කසීභාරද්වාජ සූත්‍රය

මවිසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙහි ඒකානාලා නම් බමුණු ගම්හි දක්ඛිනගිරි විහාරයෙහි වැඩවසනසේක. ඒ කාලයෙහි කසීභාරද්වාජ නම් බ්‍රාහ්මණයා විසින් වප් කල්හි පන්සියයක් නඟුල් යොදන ලද්දාහු වෙත්. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරව පා සිවුරු ගෙණ කසීභාරද්වාජ නම් බමුණාගේ භොජනය යම් තැනෙක්හි වේද එතැනට පැමිණිසේක. එකල කසීභාරද්වාජ බමුණාගේ අනුභවය පවතී.

බුදුරජතෙම අනුභවය යම්තැනෙක පවතීද එතැනට පැමිණියේය. පැමිණ එකත්පසෙක සිටියේය. කසිභාරද්වාජ බමුණු පිඬු පිණිස හුන් භාග්‍යවතුන් දැක්කේය. දැක භාග්‍යවතුන්ට මෙය කීයේය. “මහණ මම වනාහි සී සාමි. වපුරමි. සී සා වපුරා අනුභව කරමි. නුඹද මහණ සීසාව, වපුරව, සීසා වපුරා අනුභව කරව.”

“මමද බමුණ සාමි, වපුරමි. සා වපුරා වළදමි”යි වදාළෝ”

“භවත් ගෞතමයන්ගේ වියදඬක් හෝ නඟුලක් හෝ සී වැලක් හෝ කැවිටක් හෝ ගොනුන් හෝ නොම දකිමු.

“එතකුදු වුවත් භවත් ගෞතමතෙම මෙසේ කියයි.

“මම ද බමුණ, සාමි, වපුරමි, සා වපුරා වළඳමි”යි ඉක්බිති කසීභාරද්වාජ බමුණු භාග්‍යවතුන්ට ගාථාවකින් කීයේය.

“සාන්නෙකැයි ප්‍රතිඥාකෙරෙහිය, ඔබගේ කෘෂි භාණ්ඩ නොදකිමු. අප විසින් විචාරණලදී. යම්පරිද්දකින් ඔබගේ ඒ උපකරණ දැන ගන්නෙමුද කියනු මැනවි.”

“ශ්‍රද්ධාතොමෝ බිජුවටය, තපස වර්ෂාවය, මාගේ ප්‍රඥාව විය හා නඟුල්ය. ලජ්ජාව නඟුලිසය, සිත යොතය ස්මෘතිය මාගේ සීවැල හා කැවිටයි.

“රක්ෂාකරණ ලද කාය සුචරිතය ඇත්තෙක්මි. වාක් සුචරිතය ඇත්තෙක්මි. සිවුපසෙහි ආහාරයෙහි සංයතයෙමි. සත්‍යයෙන් තෘෂ්ණා නැති කරමි. අර්හත්ඵල විමුක්තිය මාගේ මිදීමයි.

“මාගේ වියධුර ඉසිලීම් සංඛ්‍යාත (කායික චෛතසික) වීර්යය නිවන දක්වා පවතී. යම්තැනකට ගොස් ශෝක නොකෙරේද ඒ දක්වා නොනැවතී යයි.

“මෙසේ මේ සීය (මා විසින්) සානලදී. ඒ සීය අමෘතඵල ඇතිවේ. මේ සීය සා සියලු දුකින් මිදේ.”

ඉක්බිති කසීභාරද්වාජ බමුණුතෙම මහත් රන් තලියෙක්හි කිරිබත් බහා යම් හෙයකින් පින්වත් ගෞතම තෙම අමෘතඵල ඇති සීයක් සායිද එහෙයින් පින්වත් ගෞතමයන් වහන්සේ කිරිබත වළඳනසේක්වායි” භාග්‍යවතුන් වහන්සේට පිළිගැන්වූයේය.

“මා විසින් ගාථා කියා ලබනලද භොජනය වැළඳියයුතු නොවේ. බමුණ, මනා දිවිපැවැත්ම දන්නාවූ බුදුවරුන්ගේ මේ ගී කියා වැළඳීම ධර්මය නොවේ, බුදුවරයෝ ගී කියා ලැබූ භොජනය බැහැර කෙරෙත්. බමුණ ආර්යධර්මය ඇතිකල්හි මේ ජීවිකා වෘත්තියයයි.

“සියලු ගුණයෙන් සම්පූර්ණවූ මහර්ෂිවූ ආශ්‍රව කුකුස් සන්සිඳවූ ක්ෂිණාශ්‍රවයන් අන්‍යවූ ආහාරපානයෙන් උපස්ථානකරව. රහත් සමූහයා වනාහි පින් කැමැත්තවුන්ට කෙතක් වෙයි.”

“එසේ නම් පින්වත් ගෞතමයන් වහන්ස, කවරෙකුට මේ බත දෙව්දැයි?” (විචාළේ)

“බමුණ දෙවියන් සහිතවූ මරුන් සහිතවූ බ්‍රහ්මයන් සහිතවූ අවකාශ ලෝකයෙහිද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිතවූ සත්වලෝකයෙහිද තථාගතයන් හෝ තථාගත ශ්‍රාවකයකු හැර ඉන් පිටත් යමකු විසින් ඒ කිරිබත වළඳන ලද්දේ මනා දිරීමට යන්නේද, එබන්දකු මම නොදකිමි. එසේ නම් තෝ ඒ කිරිබත නිල් තණ රහිත තැනෙක්හි දමව. ඉන් මරණයට පැමිණෙන සතුන් නැති ජලයෙහි හෝ උපුල්වා හරුවයි” වදාළෝ.

ඉක්බිති කසීභාරද්වාජ බ්‍රාහ්මණතෙම ඒ පායාසය ප්‍රාණීන් රහිත ජලයෙක්හි පාකොට හැරියේය. ඒ කිරිබත ජලයෙහි දමනලද්දේ චිච්චිට යන ශබ්ද කෙරේ. හාත්පසින් දුම්නගී වැඩියක් දුම්නගී. (කෙසේද) දවස මුළුල්ලේ රත්වූ නගුල්තලය දියෙහි දමනලද්දේ යම්සේ චිච්චිට යන ශබ්ද කෙරේද, චිච්චිට යන ශබ්ද කෙරේද, හාත්පසින් දුම් දමා, අතිශයින් දුම්නගයිද, එපරිද්දෙන් ඒ පායාසය දියෙහි ලනලද්දේ චිච්චිට ශබ්දකෙරේ. චිච්චිට ශබ්දකෙරේ. හාත්පසින් දුම්නගී. අතිශයින් දුම්නගී ඉක්බිති කසීභාරද්වාජ බ්‍රාහ්මණතෙම සංවේගයට පැමිණියේ ලොමුදැහැගත්තේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල්හි හිසින් වැටී උන්වහන්සේට මෙසේ සැළකෙළේය.

“පින්වත් ගෞතමයන් වහන්ස, ධර්මදෙශනය ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, දම්දෙසුම ඉතා මැනවි. පින්වත් ගෞතමයන් වහන්ස, යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේ යම්සේද, වැසුනක් විවෘතකරන්නේ යම්සේද, මංමුලාවූවෙකුට මඟ කියන්නේ යම්සේද, ඇස් ඇත්තෝ රූපයන් දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දල්වන්නේ යම්සේද, එපරිද්දෙන් භාග්‍යවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලද්දේය. මේ මම භාග්‍යවතුන් වහන්සේද ධර්මයද සංඝයාද සරණයෙමි. භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි මම පැවිද්ද ලබන්නෙමි. උපසම්පදාවද ලබන්නෙමි.”

ඉක්බිත්තෙන් කසීභාරද්වාජතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබූයේය. උපසම්පදාව ලැබූයේය. උපසම්පන්නයෙන් නොබෝ කල්වූ ආයුෂ්මත් භාරද්වාජතෙම හුදකලාවූයේ වෙන්වූයේ ප්‍රමාද නොවූයේ කෙලෙස් තවන වීර්යය ඇත්තේ පමණට මෙහෙයන ලද සිත් ඇතිව වාසය කරන්නේ නොබෝ කලකින්ම යමක් පිණිස කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවෙද්ද, ඒ උතුම්වූ රහත්ඵලය මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ඊට පැමිණ වාසය කෙළේය. ජාතිය ක්ෂයකරණ ලදී. බ්‍රහ්මචරියාව වැසනිමවන ලදී. කටයුතුකොට නිමවන ලදී. කෙලෙසුන් නැසීම පිණිස තවත් භාවනාවක් නැතැයි දැනගත්තේය. ආයුෂ්මත් භාරද්වාජ ස්ථවිරයන් වහන්සේ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක්වූහ”

කසිභාරද්වාජසුත්තං චතුත්ථං නිට්ඨිතං.