ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

1. උරග වර්ගය

5. චුන්ද සූත්‍රය

“මහත් ප්‍රඥා ඇති සම්‍යක් සම්බුද්ධවූ ධර්මස්වාමිවූ, තෘෂ්ණා පහකළ, දෙපා ඇත්තවුන්ට උතුම්වූ සාරථින්ටත් ඉතා උතුම්වූ, සර්වඥයන් වහන්සේ විචාරමි. සත්වලෝකයෙහි ශ්‍රමණයෝ කෙතෙක්ද, එසේ නම් වදාළ මැනවයි” චුන්දකර්මාර පුත්‍රතෙමේ කීයේය.

“චුන්දය, ශ්‍රමණයෝ සතරදෙනෙකි. පස්වන කෙනෙක් නැත්තේය. ඒ ශ්‍රමණයන් සතරදෙනා තට ඇස් හමුවෙහි විචාරණලද මම ප්‍රකට කෙරෙමි. යමෙක් වනාහි මාර්ගයෙන් කෙලෙස් නැසූ මාර්ගය දිනුවේනම් වේද? යමෙක් වනාහි අනුන් හට මාර්ගය කියන මාර්ග දෙශකද, යමෙක් වනාහි අවසන් නොකළ මාර්ගවාස ඇති බැවින් මාර්ගයෙහි ජීවත්වේද, යමෙක් වනාහි මාර්ගයට විරුද්ධ මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත බැවින් මාර්ග දුෂකද මේ සතර දෙනයයි” වදාළසේක.

“බුදුහු, කවරෙකුට මාර්ගජිනයයි කියත්ද? අසමාන මාර්ගදෙශකයා කෙසේවේද, මාර්ගයෙහි ජීවත්වන්නේ කෙසේද මා විසින් විචාරණලද, සර්වඥයන් වහන්සේ වදාරණසේක්වා ඉක්බිති මාර්ගදූෂකයා මට ප්‍රකාශ කරන්නැයි” චුන්දකර්මාර පුත්‍රතෙම කීය.

“යමෙක්තෙම පහකළ සැකය ඇත්තේද දුරුවූ රාගාදී උල් ඇත්තේද, නිවන්හි ඇලුනේද, තෘෂ්ණා නොකෙරේද, දෙවියන් සහිතවූ සත්වලෝකයා නිවරණට පැමිණවීද, මාර්ගජිනයා ඔහු යයි කියත්.

“මේ ශාසනයෙහි යම් ක්ෂීණාශ්‍රව ශ්‍රමණයෙක් සියලු ධර්මයන්ට නිර්වාණය උතුම්යයි දැන නිර්වාණ ධර්මය හා මාර්ග ධර්මය මේ ශාසනයෙහිම යයි පහළ කෙරේද, කොටස් කෙරේද, කියාද, විස්තර වශයෙන් බෙදයිද, සැක සිඳින්නාවූ මුනිවූ තෘෂ්ණා රහිතවූ ඔහු මාර්ගදෙශකවූ දෙවන ක්ෂීණාශ්‍රව ශ්‍රමණයා යයි කියත්.

“යම් ශෛක්ෂ (රහත් ඵලය සඳහා හික්මෙන) ශ්‍රමණයෙක් හෝ සිල්වත් පෘථග්ජන ශ්‍රමණයෙක් ශීල සංවරයෙන් යුක්තවූයේ, සිහි ඇත්තේ, සත්තිස් බොධිපාක්ෂික ධර්මයන් සෙවුනේ නිර්වාණ ධර්මයට කාරණවූම යහපත්කොට දෙශනා ලද මාර්ගයෙහි ජීවත්වේද, ඔහු තුන්වනුවූ මාර්ග ජීවශ්‍රමණ යයි කියත්.

“බුදුපසේබුදු සව්වන්ගේ වෙශය ගෙන මමත් සඟ වෙමියි ශාසනයට වැදුනාවූ, කුලයන්ගේ ප්‍රසාදය නසන හික්මීමෙන් තොර කටයුතු ඇත්තේ රැවටිලි ඇත්තේ ශීල සංවරයක් නැත්තේ, බොල් වී ඇටයක් මෙන් ගුණයෙන් හිස්වූයේ බාහිර අලංකාරයෙන් යුක්තව හැසිරෙන්නාවූ ඒ පුද්ගලයා මාර්ගදුෂක ශ්‍රමණයාවේ.

“ශ්‍රැතවත්වූ ආර්යශ්‍රාවකවූ, ඤාණවන්තවූ, ගිහිගෙයි වසන යමෙක් ඒ මේ ශ්‍රමණයන් සතරදෙන දැනගත්තේද, මුලින් කී තුන්දෙනා මාර්ගදූෂීහු හා සමාන නොකොට මෙසේ දැන වසන්නාවූ ඒ ගිහිගෙයි වසන්නාගේ ශ්‍රද්ධාව පවුකරණ පාප භික්ෂූහු දැකත් නොනසී. පිරිසිදු මහණුන් තුන්දෙනා අපිරිසිදු නමින් පමණක් ශ්‍රමණයා හා කෙසේ වනාහි සම කෙරේද?”

චුන්දසුත්තං පඤ්චමං නිට්ඨිතං.