ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

1. උරග වර්ගය

6. පරාභව සූත්‍රය

“මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ ජෙතවන නම්වූ අනේපිඬු මහ සිටුහු විසින් කරවන ලද විහාරයෙහි වැඩවාසය කරන සේක. ඉක්බිත්තෙන් එක්තරා දෙවතාවෙක් රාත්‍රිය සම්බන්ධ ප්‍රථම යාමය ඉක්මුණු කල්හි අතිශයින් යහපත් ශරීර වර්ණයෙන් ජෙතවන විහාරය මුලුල්ල බබුළුවා භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ ඒ දෙවතාවා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ දැනුම් දුන්නේය.

“අපි හැමදෙනම පිරිහෙන්නාවූ පුරුෂයා ගෞතමයන් වහන්සේගෙන් අසාදැනගන්නා පිණිස ආවෙමු. පිරිහෙන්නාවූ සත්වයාට ඊට හෙතු කවරේදැයි” විචාළේය.

“වැඩෙන්නාවූ පුරුෂතෙම ධර්මකාමී ප්‍රතිපත්තිවල හැසිරෙනු දැකීමෙන් හා ඇසීමෙන් සුවසේ දතහැකි වන්නේය. පිරිහෙන්නාවූ පුරුෂතෙම ධර්මයට වෛරකරණ ප්‍රතිපත්ති දර්ශනයෙන් හා ශ්‍රමණයෙන් සුවසේ දතහැකි වන්නේය. දශ කුශල කර්මපථ ධර්මය අසා පිළිපදනේ වැඩෙයි. ඒ දශකුශල ධර්මයට ද්වෙෂව නොකැමතිව අසා නොපිළිපදනේ පිරිහෙන්නේය.

“මේ පිරිහෙන පළමුවන කාරණය වදාළ පරිද්දෙන්ම දනුම්හ”

“භාග්‍යවතුන් වහන්ස, දෙවනි පිරිහෙන කාරණය වදාළ මැනවි පිරිහීමට කාරණය කවරේද?

සද්ධර්මයට කැමති නොවීමෙන් පිරිහීමට පැමිණෙන පුරුෂයා හට පූරණකාශ්‍යපාදී මිසදිටු ගත් අසත්පුරුෂයෝ ප්‍රියවෙති. ඒ පිරිහීමට පැමිණෙන පුරුෂතෙම බුද්ධාදී සත් පුරුෂයන් ප්‍රිය නොකරන්නේය. යට කියන ලද නිවටුන්ගේ අසත්පුරුෂ ධර්මයන් රුචිකරන්නේය. අසත් පුරුෂයන් කෙරෙහි ප්‍රියවීම, සත්පුරුෂයන් අප්‍රිය වීම අසත්පුරුෂයන්ගේ අසද්ධර්මයට කැමති වීමය යන මේ තුන පිරිහීමට කාරණයයි” වදාළසේක. “මේ දෙවෙනි පරිහානිකාරණය වදාළ පරිද්දෙන්ම දනුම්හ.”

“භාග්‍යවතුන් වහන්ස, තුන්වෙනි, පරිහානි කාරණය වදාළමැනව. පිරිහීමට කාරණා කවරේදැයි” විචාළේය.

“යම්කිසි සත්වයෙක් තෙම නිතර නිදන්නේද බොහෝ දෙන රැස්ව කථාකරණ තැනට එළඹ කථාවෙහි ඇලුනේ වේද, වීර්ය තේජස් නැත්තේද අලසද, ක්‍රොධයම ලකුණු කොට ඇත්තේද යන මේ කරුණු පිරිහීමට කාරණයයි වදාළසේක. “මේ තුන්වෙනි පරිහානි කාරණය වදාළ පරිද්ද දැනගතුම්හ.”

භාග්‍යවතුන් වහන්ස, සතරවෙනි පරිහානි කාරණය වදාරණසේක්වා, සත්වයා පිරිහීමට කාරණය කවරේදැයි විචාළේය.

“යම්කිසිවෙක් ජරාවට ගිය තරුණ බව ඉක්මවූ වැදූ මෑණියන් හෝ පියාණන් හෝ (තමා) පොහොසත්වූයේ පොෂණය නොකෙරේද එය පිරිහීමට කාරණයයි” වදාළසේක. “මේ සිවුවෙනි පරිහානිකාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ”

“භාග්‍යවතුන් වහන්ස, පස්වෙනිවූ පරිහානි කාරණය වදාළ මැනව කවරේදැයි” විචාළේය.

“ක්ෂත්‍රියාදී යම්කිසිවෙක් බැහැර කරන ලද පවු ඇති ක්ෂීණාශ්‍රවවූ බ්‍රාහ්මණයෙකු හෝ සන්සිඳුවන ලද පව ඇති එබඳු ශ්‍රමණයකු හෝ අපි නැවත අන්කිසිවක් ඉල්වන යාචකයෙකු හෝ බොරුකීමෙන් වංචා කෙරේද දෙලොවින්ම පිරිහීමට කාරණයයි” වදාළසේක. “මේ පස්වැනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ”

“භාග්‍යවතුන් වහන්ස, සවෙනි පරිහානි කාරණය වදාළ මැනව. කවරේදැයි” විචාළේය.

“බොහෝ පොහොසත් රන්රිදී මිණිරුවන් ඇති බොහෝ කහවනු සහිතවූ නොයෙක් සූපව්‍යඤ්ජනයෙන් යුක්ත බොජුන් ඇති පුරුෂයෙක් තෙම මියුරු රස ඇති භොජන තම අඹුදරුවන්ටත් නොදී තනිවම අනුභව කෙරේද? මේ සවෙනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.”

“භාග්‍යවතුන් වහන්ස, සත්වෙනි පරිහානි කාරණය කවරේදැයි” විචාළේය.

“යම් සත්වයෙක් ජාතිය කරණකොට ගෙන තදමානය ඇත්තේවේද ධනය හේතුකොට ගෙන තදමානය ඇත්තේ වේද, ගොත්‍රය හෙතුකොට ගෙණ තද මානය ඇත්තේ වේද තමාගේ අවශෙෂ නෑයන් ජාතිධන ගොත්‍ර වශයෙන් පහත් කොට සිතාද, ඒ සිය නෑයන් යටත්කොට දැකීම ඒ සත්වයා හට පිරිහීමට කාරණයයි” වදාළසේක. මේ “සත්වැනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.”

“භාග්‍යවතුන් වහන්ස, අටවෙනි පරිහානි කාරණය වදාළ මැනව කවරේදැ”යි විචාළේය.

“යම් සත්වයෙක් තෙම පර ස්ත්‍රීන් සේවනය කෙරේද, සුරාබීමෙහි ලොල්වූයේද, දූ කෙළියෙහි ලද ලද යම් වස්තුවක් නසාද, එය පිරිහීමට කාරණයයි” වදාළසේක. “මේ අටවැනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.”

“භාග්‍යවතුන් වහන්ස, නවවැනි පරිහානි කාරණය කවරේදැ”යි විචාළේය.

“තමතමන්ගේ භාර්යාවන් හෙතුකොටගෙන නොසතුටුවූ යමෙක් වෛශ්‍යාවන් කෙරෙහි දක්නා ලැබෙයිද පරස්ත්‍රීන් කෙරෙහි දක්නා ලැබේද එය පිරිහීමට කාරණයයි” වදාළ සේක. මේ නවවැනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.

භාග්‍යවතුන් වහන්ස, දශවෙනි පරිහානි කාරණය වදාළමැනව. කවරේද?”

“ඉක්මගිය යෞවන වයස් ඇති පුරුෂයෙක් තෙම තිඹිරි ඵල වැනි තන ඇති තරුණියක් සරණ පාවාගෙන ඇය තරුණ පුරුෂයකු පතාදෝ යන ඊර්ෂ්‍යාවෙන් රාත්‍රියෙහි නොනිදාද, ඒ කරණය පිරිහීමට කාරණයයි” වදාළසේක “මේ දශවැනි පරිහානි කාරණය වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.”

“භාග්‍යවතුන් වහන්ස, එකොලොස්වැනි පරිහානි කාරණය වදාළ මැනව කවරේද?”

“මත්ස්‍ය මාංශ හා සුරාවෙහි ලොල්වූ ඒ මාංශාදිය නිසා සම්පත් විසුරුවන සුලුවූ ස්ත්‍රියක හෝ එබඳුවූ පුරුෂයෙකු හෝ භාණ්ඩාගාරාදිය බාරදී එකීදෙයෙහි නියුක්ත කෙරේද, එබන්දහු පිරිහීමට කාරණයයි” වදාළසේක. “මේ එකොළොස්වැනි පරිහානි කාරණය මේ වදාළ පරිද්දෙන්ම දැනගතුම්හ.”

“භාග්‍යවතුන් වහන්ස, දොළොස්වැනි පරිහානි කාරණය වදාළ මැනව.”

“මදවූ වස්තු ඇති තෘෂ්ණා ඇත්තෙක් ක්ෂත්‍රිය කුලයෙහි උපදීද, ඒ ක්ෂත්‍රිය ජාති ඇති අල්පභොග මහා තෘෂ්ණා ඇත්තේ වනාහි තමා සතුවූ හෝ තමාට නොලැබෙන අනුන් සතුවූ හෝ රාජ්‍යය ප්‍රාර්ථනා කෙරේද ඒ පිරිහීමට කාරණයයි” වදාළසේක.

“ප්‍රඥා ඇති පුද්ගලතෙම මේ සත්වලොකයෙහිවූ යථොක්තවූ තෙවිසි පරිහානි කාරණයන් නුවණැසින් පරීක්ෂාකොට දැන එහි ආදීනව දත් ඒ ප්‍රඥාවන්තවූ පුද්ගලතෙම දිව්‍ය ලොකය සේවනය කරන්නේයයි” වදාළසේක.

පරාභවසුත්තං ඡට්ඨං නිට්ඨිතං.