ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

1. උරග වර්ගය

7. වසල සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවන නම්වූ විහාරයෙහි වැඩවාසය කරන සේක. එකල්හි වනාහී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවේලෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරුගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණයාගේ ගෙය යම් තැනෙක්හිද එතැනට වැඩිසේක.

අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම වැඩමවන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදීම දුටුයේමය. දැක භාග්‍යවතුන් වහන්සේට මේ වචනය කීයේය. මුණ්ඩකය, එහිම සිටුව, නින්දිත (සැඩොල) මහණ එහිම සිටුවයි” මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණයාට මෙසේ වදාළසේක. බමුණ, තෝ සැඩොලා හෝ සැඩොල් බවට පමුණුවන කාරණයන් හෝ කිමෙකැයි දන්නෙහිද?”

“වසලයා හෝ වසල බවට පමුණුවන ධර්මය හෝ නොදනිමි. භවත් ගෞතමතෙම වසලයා හෝ වසල බවට පමුණුවන කාරණයන් යම්සේ මම දැනගනිම්ද, මට එසේ දහම් දෙසන සේක්වායි” සැළකෙළේය.

“බමුණ, එසේවීනම් අසව, මනාකොට මෙනෙහි කරව, කියන්නෙමියි” වදාළසේක. “පින්වත, එසේයයි” කියා අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“යම් මනුෂ්‍යයෙක් කිපෙන ස්වභාව ඇත්තේ වේද, වෛර ඇත්තේ වේද, අනුන් ගුණ නසන පවිටු ස්වභාව ඇත්තේ වේද, විපර්යාසවූ දෘෂ්ටි ඇත්තේද (හෙවත් සම්‍යක් දෘෂ්ටියෙන් තොරවූයේද) මායාව ප්‍රයෝග ඇත්තේ වේද ඔහු වසලයයි” දැනගත යුතුයි.

“මේ ලොකයෙහි යම් පුද්ගලයෙක් පක්ෂීන්ට හා සෙසු සතුන්ට හිංසා කෙරේද, (හෙවත් දිවි තොරකෙරේද) යමෙක්හට සත්වයා කෙරෙහි දයාවක් නැත්තේද, ඔහු වසලයා යයි දතයුතුයි.

“යමෙක්තෙම ගම් හා නියම් ගම්ද විනාශ කෙරේද, සේනාව ලවා වටලාද නිග්‍රහ කරන්නෙකැයි ප්‍රසිද්ධවේද ඔහු වසලයෙකැයි දැනගත යුතුයි.

“ගමෙහි හෝ ඉදින් වනයෙහි හෝ අනුන්ගේ මමත්වය ඇති යම් වස්තුවක් සොරසිතින් ගනීද ඔහු වසලයෙකැයි දතයුතුයි.

“යමෙක්තෙම ඒකාන්තයෙන් ණය රැගෙන චොදනා කරනු ලබන්නේ ‘තට ණයක් නැත්තේයයි’ බැහැරයාද ඔහු වසලයෙකැයි දතයුතුයි.

“යමෙක් ඒකාන්තයෙන් කිසි වස්තුවක් කැමැත්තේ මාර්ගයෙහි යන්නාවූ ජනයා නසා කිසි වස්තුවක් පැහැර ගනීද, ඔහු වසලයෙකැයි දතයුතුයි.

“යම් මනුෂ්‍යයෙක් සාක්ෂි විචාරණ ලද්දේ තමා හේතුකොටගෙන හෝ අනුන් හේතුකොටගෙන හෝ යම් ධනයක් හේතුකොට හෝ බොරු කියාද, ඔහු වසලයෙකැයි දතයුතුයි.

“යමෙක් නෑයන්ගේ හෝ යහලුවන්ගේ හෝ භාර්යාවන් කෙරෙහි බලාත්කාරයෙන් එකක්හුගේ ප්‍රෙමයෙන් හෝ උභය ප්‍රෙමයෙන් හෝ දක්නා ලැබේද හෙවත් අනාචාරයෙහි හැසිරේද, එබඳු පුද්ගලයා වසලයෙකැයි දත යුතුයි.

“යමෙක් තෙම බොහෝ ධනධාන්‍ය ඇත්තේ ජරාපත්වූ පහවගිය යෞවන බව ඇති මව හෝ පියා හෝ පෝෂණය නොකෙරේද ඔහු වසලයෙකැයි දත යුතුයි.

“යමෙක්තෙම මවට හෝ පියාට හෝ සහෝදර සහෝදරියන් හා නැදිමයිලන්ට හෝ හිංසා කෙරේද, වචනයෙන් ක්‍රොධකෙරේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.

“යමෙක් තෙම විචාරණ ලද්දේම අනර්ථයක්ම ප්‍රකාශ කෙරේද සැඟවීම වශයෙන් යම් යම් දේ කථා කෙරේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.

“යමෙක් තෙම පව්කම්කොට මා නොදනීවායි කැමති වේද, යමෙක් තෙම අනුන් නොදන්වා සඟවා කරන ලාමක ක්‍රියා ඇත්තේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.

“යමෙක්තෙමේ මේ ඤාතිමිත්‍රාදී අන්ගෙයකට ගොස් යහපත් භොජනයක් අනුභව කොට පසුව තමාගේ ගෙට පැමිණි ඔවුන්ට ආහාර පානයක් නොදේද, ඔහු ඒකාන්තයෙන් වසලයා යයි දත යුතුයි.

“යමෙක් තෙම බ්‍රාහ්මණයකු හෝ ශ්‍රමණයකු හෝ අන්කිසි යාචකයකු හෝ තමාගේ ගෙට පැමිණි කල්හි බොරුකියා වඤ්චාකෙරේද ඔහු වසලයෙකැයි දතයුතුයි.

“යමෙක්තෙම බ්‍රාහ්මණයකු හෝ ශ්‍රමණයකු හෝ පෙරවරු වේලෙහි පැමිණිකල්හි කිසිවක් නොදේද නුසුදුසු වචන කියමින් රොස් උපදවාද, එබඳු පුද්ගලයා වසලයෙකැයි දත යුතුයි.

“මේ ලොකයෙහි යමෙක්තෙම මොහයෙන් වැසෙන ලද්දේද කිසියම් දෙයක් නොදී වළකමින් අසත්පුරුෂ වචන කියාද, ඔහු වසලයයි දතයුතුයි.

“යමෙක් තෙම ස්වකීය උඩඟු මානයෙන් පිරිහුනේ තමන් උඩඟු කෙරේද අන්‍යයාට නින්දාකෙරේද හෙවත් හෙලා දකීද, ඔහු වසලයයි දතයුතුයි.

“යමෙක් අනුන්ට ක්‍රොධ කෙරේද තද මසුරු සිත් ඇත්තේද නැති ගුණයෙන් පෙනී සිටීද ලජ්ජානැත්තේද පවට බිය නැත්තේද, ඔහු වසලයයි දත යුතුයි.

“යමෙක් තෙම බුදුන්ටද උන්වහන්සේගේ ශ්‍රාවකයන්ටද පරිබ්‍රාජකයන්ටද ගෘහස්ථයන්ටද පිරිහෙලා කථා කෙරේද, ඔහු වසලයෙකැයි දතයුතුයි.

“යමෙක් තෙම රහත් නුවූයේම රහත්යයි අඟවාද බ්‍රහ්මයන් සහිතවූ ලොකයෙහි මෙතෙම ඒකාන්තයෙන් පළමුවෙනි මහසොරා වේ. මේ තෙමේ චණ්ඩාලයන්ගෙන් අධමවේ.

“ජාතිය හෙතුකොට ගෙන චණ්ඩාලයෙක් නොවේ. ජාතිය හෙතුකොට ගෙන බ්‍රාහ්මණද නොවේ. අධම ක්‍රියාව හෙතුකොට ගෙන චණ්ඩාලවේ. යහපත් ක්‍රියාව හෙතුකොට ගෙන බ්‍රාහ්මණද වේ.

“යම්සේ මාගේ මේ උපමා දැන්වීමක් ඇද්ද ජාතිය හෙතුකොට ගෙන සැඩොල් නොවන බව මෙයින්ද දැනගනිව් සැඩොල් පුත්වූ සොපාකයයි කියන ලද මාතංගයයි ප්‍රසිද්ධවූ

“ඒ සොපාක තෙරුන්වහන්සේ මේ රාගාදී රජස් රහිතවූ මහතුන්ගේ මහාමාර්ගයවූ ඒ අෂ්ටසමාපත්ති නම් දිව්‍ය යානාවට නැගී කාමරාගය පහකොට උත්පත්ති වශයෙන් බ්‍රහ්මලොකයට පැමිණියේ විය.

“ජාතිය ඔහු බඹලොව ඉපදීමෙන් නොවැළක්විය මන්ත්‍ර අධ්‍යයනයෙන් කල්යවන ප්‍රසිද්ධ බ්‍රාහ්ණ කුලයෙහි උපන්නාවූ වෙදයම නොහොත් මන්ත්‍රයම පිහිටකොට ඇති බ්‍රාහ්මණයෝ පව් කිරීමෙහි නිතර පව් කරන බව දක්නා ලැබෙද්ද, ඒ බ්‍රාහ්මණයෝ මෙලොවදීම නින්දාවට පැමිණෙන්නෝ වෙත්. පරලෙව්හිදී දුගති නම්වූ සතර අපායට පැමිණෙන්නෝ වෙත්. ජාතිය ඒ සත්වයන් පරලොව අපායෙන් හෝ මෙලොව නින්දාවෙන් හෝ නොනවත් වන්නේය.

“ජාතිය හෙතුකොට ගෙන වසලයෙක් නොවන්නේය. ජාතිය හෙතුකොට ගෙන බ්‍රාහ්මණයෙක්ද නොවන්නේය. ක්‍රොධ ඊර්ෂ්‍යා මානාදී හීනවූ පාප ක්‍රියාවෙන් වසලයෙක් වන්නේය. ක්‍රොධාදී පාපකර්මයෙන් තොරවූ කරුණාදී යහපත් ක්‍රියාවෙන් උතුම් ජාතියවූ බ්‍රාහ්මණයෙක් වන්නේ යයි” වදාළසේක.

“මෙසේ වදාළ කල්හි අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණ තෙම බුදුරජාණන් වහන්සේට මෙසේ සැළ කෙළේය. (මෙහි සූත්‍ර නිපාතයේ 1 වර්ගයේ 4 සූත්‍රයේ 8 ඡෙදය යෙදිය යුතුයි.)

වසලසුත්තං සත්තමං නිට්ඨිතං.