ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

1. උරග වර්ගය

9. හෙමවත සූත්‍රය

“අද පසළොස්වක දවසය. දිව්‍යවූ රූප ප්‍රභා ඇති, රාත්‍රිය පැමිණ සිටියාය. ලාමක නොවූ නම් ඇති, ශාස්තෘවූ ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන් දකුම්හයි” සාතාගිර නම් යක් සෙනෙවි කීයේය.

“කිමෙක්ද? ඒ ශාස්තෘහුගේ සිත අචලද ඒ ශාස්තෘ තෙම සියලු සත්වයන් කෙරෙහි මනාවේද, කිමෙක්ද? ඒ ශාස්තෘහුගේ අදහස් ඉෂ්ට අනිෂ්ට අරමුණු විෂයෙහි වසඟ දැයි” හෙමවත යක් සෙනෙවි ඇසීය.

“සියලු සත්වයන් කෙරෙහි සමවූ ඒ ශාස්තෘහුගේ සිත අචලය. නැවත ඉෂ්ටවූ සංස්කාරයන් කෙරෙහිද අනිෂ්ටවූ සංස්කාරයන් කෙරෙහිද උන්වහන්සේගේ අදහස් වසඟ කරණ ලදහුයයි” සාතාගිර කීයේය.

“කිමෙක්ද? නුදුන් වස්තුව නොගනීද, කිමෙක්ද? සතුන් කෙරෙහි දයාද, කිමෙක්ද? ප්‍රමාදයෙන් හෙවත් අබ්‍රම්සරින් දුරුද, හෙවත් ස්ත්‍රීන් කෙරෙන් දුරුද, කිමෙක්ද? ධ්‍යානය නොහරීදැයි” හෙමවත යක් සෙනෙවි මෙසේ ඇසීය.

“ඒ සර්වඥතෙම නුදුන් වස්තුවක් නොගන්නේය. එසේම සතුන් කෙරෙහි දයාව ඇත්තේය. නැවත ප්‍රමාදයෙන් දුරුය. සර්වඥතෙමේ ධ්‍යානය නොහරනේයයි” සාතාගිර මෙසේ කීයේය.

“කිමෙක්ද? ඒ ශාස්තෘතෙම මුසාව නොකියාද, අනුන් හිංසා කරණ සිත නැත්තේද, රළු වදන් නැත්තේද, නපුරු වචන නැත්තේද, කිමෙක්ද? කේලාම් නොකියාද, කිමෙක්ද, නිරර්ථක තෙපුල් නොකියාදැයි” හෙමවත යක් සෙනෙවි ඇසීය.

“ඒ සර්වඥතෙම නපුරු බස් නොකියන්නේය. නැවත, හිංසා කරණ තෙපුලුත් නොකියන්නේය. නැවත, කේළමුත් නොකියන්නේය. ඒ සර්වඥතෙම නුවණින් පිරිසිඳ අර්ථයෙන් යුත් වචනය කියන්නේයයි” සාතාගිර යක් සෙනෙවි කීයේය.

“කිමෙක්ද? ඒ ශාස්තෘතෙම රූපාදි වස්තු කාමයෙහි නොඇලේද, කිමෙක්ද උන්වහන්සේගේ හිත ව්‍යාපාදයෙන් නොකැළඹුනේද, කිමෙක්ද, ඒ ශාස්තෘහුගේ මොහය ඉක්මුනේද කිමෙක්ද, ඒ ශාස්තෘතෙම සියලු සංස්කාර ධර්මයන් විෂයෙහි සමතැස් ඇත්තේදැයි” හෙමවත යක් සෙනෙවිතෙම මෙසේ විචාළේය.

“ඒ ශාස්තෘතෙම වස්තු කාම විෂයෙහි නොඇලේ. නැවත සර්වඥයන් වහන්සේගේ සිත ව්‍යාපාදයෙන් නොකැළඹිනි. සියලු මොහය ඉක්මුනේය චතුරාර්ය සත්‍යය දත්තාවූ ඒ සර්වඥතෙම සියලු ධර්මයෙහි නොපැකිල පවත්නා පසැස් ඇත්තේයයි” සාතාගිර යක් සෙනෙවි කීයේය.

“කිමෙක්ද? ඒ ශාස්තෲන් වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යාවෙන් යුක්තද, කිමෙක්ද, ඒ ශාස්තෘතෙම පිරිසිදු පසළොස් චරණ ධර්ම ඇත්තේද? කිමෙක්ද, ඒ සර්වඥයා විසින් ආශ්‍රවයෝ ක්ෂය කරණ ලදහුද, කිමෙක්ද, ඒ සර්වඥයන් වහන්සේගේ පුනරුත්පත්තියෙක් නැද්දැයි” හෙමවත ප්‍රශ්න කෙළේය.

“ඒ සර්වඥතෙම විද්‍යාවෙන්ද යුක්තය. නැවත පිරිසිදු චරණ ධර්මයනුත් ඇත්තේය. ඒ සර්වඥයන් වහන්සේ විසින් සියලු ආශ්‍රවයෝ ක්ෂය කරණ ලද්දහුය. ඒ සර්වඥයන් වහන්සේගේ පුනරුත්පත්තියෙක් නැතැයි” සාතාගිර යක් සෙනෙවි කීයේය.

“මුනිහුගේ සිත සම්පූර්ණය. මනඃ කර්මයෙන්ද වාක් කර්මයෙන්ද, සිත සම්පූර්ණය. විද්‍යා හා චරණ ධර්මයෙන් යුක්තවූ ඒ සර්වඥයන් වහන්සේට ඇති ගුණයෙන්ම, සාතා ගිරයෙනි, තොපි ප්‍රශංසා කරන්නෙහිය.

“මුනිහුගේ සිත සම්පූර්ණය. මනඃ කර්මයෙන්ද වාක් කර්මයෙන්ද සම්පූර්ණය, විද්‍යාචරණයෙන් යුක්තවූ ඒ සර්වඥයන් වහන්සේට ස්වභාවයෙන්ම (තොපි හෙමවතයෙනි) අනුමෝදන් වෙව.”

“මුනිහුගේ සිත සම්පූර්ණය. මනඃ කර්මයෙන්ද වාක් කර්මයෙන්ද සම්පූර්ණය. විද්‍යාචරණයෙන් යුක්තවූ ගෞතම ගොත්‍ර ඇති සර්වඥයන් වහන්සේ නිශ්චය කොට දත් බැවින් අපි දෙන්නමෝ දකුම්හයි” සාතාගිර කීයේය.

“එණි මෘගයෙකුට බඳුවූ ක්‍රමයෙන් වටවූ පාද ඇති කෘශවූ වීර පුරුෂවූ අල්පාහාරවූ, අහරෙහි ලොල් නොවූ, මොනෙය්‍ය ගුණයෙන් යුක්තවූ වනයෙහි ධ්‍යාන කරණ සර්වඥයන් වහන්සේ සාතාගිරයෙනි, එව. තෙපිත් මමත් දකුම්හ.”

“කේශර සිංහයා සදෘශවූ අසහායචාරීවූ ශ්‍රෙෂ්ඨවූ වස්තු කාම ක්ලෙශ කාමයෙහි ආලය නොකරණ සර්වඥයන් වහන්සේ සමීපයට පැමිණ මරහුගේ මලින් මිදීම විචාරම්හ.”

“ආර්ය සත්‍යය කියන්නාවූ සිත් සතන් පරිද්දෙන් ධර්මය පවත්වන්නාවූ සියලු ධර්මයන්ගේ පරතෙරට ගිය බුද්ධවූ ප්‍රාණඝාතාදී වෛරයෙන් හා භයින් ඉක්මුනාවූ ගෞතම සර්වඥයන් වහන්සේ අපි විචාරම්හ.”

“කවරෙක් උපන් කල්හි සත්ව සංස්කාර ලොකය උපන්නේ වේද? දෘෂ්ටිය හා එක්වීමත් තෘෂ්ණාව හා එක්වීමත් කවර කලෙක්හි කෙරේද? කුමක් නිසා ලෝක නම්වේද, කුමක් ඇතිකල්හි සත්වලෝකයතෙම පෙළනු ලබන්නේ දැයි” හෙමවත යක්ෂතෙම මෙසේ විචාළේය.

“හෙමවතය, සයක් උපන් කල්හි සත්ව ලොකයද සංස්කාර ලොකයද උපන්නේ වෙයි. ඒ දෙවැදෑරුම් ආයතන සය කෙරෙහිම තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් බැඳීම සත්ව ලොකයා කරන්නේය. ඒ ද්විප්‍රකාර ෂඩායතනයන්ම නිසා සත්ව සංස්කාර ලොකය අත්පා ව්‍යවහාරයට යන්නේය. ඒ ෂඩායතනයන් ඇතිකල්හිම සත්ව ලොකයා වෙහෙසනු ලබන්නේය. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.”

“යම් උපාදානයක් ඇතිකල්හි සත්ව සංස්කාර ලොකය වෙහෙසේද, ඒ ආයතන නම් දුඃඛය කවරේද, නික්ම යන මාර්ගය විචාරණලද මට සර්වඥයන් වහන්සේ වදාළසේක. උපාදානයයි දක්වන ලද දුඃඛයෙන් කෙපරිද්දෙකින් මිදෙන්නේද?

“සත්ව ලෝකයෙහි මනස සවැනි කොට ඇති, රූපාදී පඤ්චකාම ගුණයෝ ප්‍රකාශ කරණ ලද්දාහුය. මේ ද්වාදශායතනයන්ගේ විෂයෙහි තෘෂ්ණාව සර්වප්‍රකාරයෙන් නසා මෙසේ දුකින් මිදෙයි.

“ත්‍රිවිධ ලොකයාගේ මාර්ගයෙන් නික්ම යාම තොපට කියන ලදී. මේ මාර්ගයම තොපට මම දහසක් වර විචාළත් කියමි. මේ දුඃඛාදී චතුස්සත්‍යය මම මත්තෙහි විශෙෂාධිගමය පිණිස කියමි. මෙසේම දුකින් මිදෙන්නේය.”

“මේ ලොකයෙහි කවරෙක් කාමාදී සතර සැඩ වතුරෙන් එතරවේද? මේ ලොකයෙහි කවරෙක් සංසාර මුහුදින් එතරවේද, යටින් පිහිටක් නැති මත්තෙහි එල්බෙන තැනක් නැති ගැඹුරු සංසාර සාගරයෙහි කවරෙක් නොගිලේද?”

“හැමකල්හි ශීලයෙන් යුක්තද ඤාණවන්තද, සමාධියට මාර්ගඵලවල මනාව පිහිටියේද, විදර්ශනා වශයෙන් සිතන සුළුද, සිහි ඇත්තේද, තරණය කළ නොහැකි සතර ඔඝය. එතර කරයිද?”

“කාම හැඟීමකින් දුරුවීද, කාම සංඥාවෙහි නොඇලුනේද, සියලු සංයොජනයන් ඉක්ම ගියේද, තෘෂ්ණාව හා තුන් භවය ක්ෂය කෙළේද, ඒ ක්ෂීණාශ්‍රව මහණ ගැඹුරුවූ සසර සයුරෙහි නොගැලෙන්නේය.

“ගැඹුරුවූ නුවණ ඇති නිපුණවූ අර්ථයන් දක්නා සුළුවූ රාගාදී පලිබොධ නැති දෙවැදෑරුම් කාමයෙහි හා ත්‍රිවිධ භවයෙහි නොගැටුනාවූ, සියලු අරමුණෙහි මිදුනාවූ දිව්‍ය විහාර පථයෙහි හැසිරෙන මහා ඍෂිවරයාවූ ඒ සර්වඥයන් වහන්සේ බලව්.

“ලාමක නොවූ නාමයන් ඇති සියුම් අර්ථ අනුන්ට දක්වන නුවණ දෙන කාම තෘෂ්ණාවෙහි නොඇලුනු, සියල්ල දත්තාවූ ශොභන පාරමිතා ප්‍රඥා ඇති ඵල සමාපත්තිය නුවණින් විඳින ඒ මහා ඍෂිවරයා බලව්.

“යම් හෙයකින් සතර ඔඝය තරණය කළ ආශ්‍රව රහිත සම්බුද්ධයන් වහන්සේ දැක්කෙමුද, අද අප විසින් යහපත් දැකීමක් දක්නාලදී. අද යහපත් සේ එළිවිය. අද මනා නැගිටීමක් විය.

“ඍද්ධියෙන් යුත් අග්‍ර ලාභයෙන් හා අග්‍ර පරිවාරයෙන් යුක්තවූ සියලු මේ දහසක් යක්කු ඔබ සරණකොට යෙති. ඔබවහන්සේ අපගේ එයට වඩා උත්තමයෙක් නැති ශාස්තෘ ය.

“සම්‍යක් සම්බුද්ධයන් හටද ධර්මයාගේ යහපත් බවටද නමස්කාර කරන්නාවූ අපි හැමදෙනම ගමින් ගමට දිව්‍ය පර්වතයෙන් දිව්‍ය පර්වතයට ධර්ම ඝොෂා කරන්නෝව ඇවිදින්නෙමු.

හෙමවතසුත්තං නවමං නිට්ඨිතං.