ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

2. චූල (සුළු) වර්ගය

12. වංගීස සූත්‍රය

“මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අලව්රට අග්ගාලාව චෛත්‍යයෙහි වාසය කරණසේක. එකල්හි වනාහි තනිව සිටි විවෙකයෙහි සිටි ආයුෂ්මත් වංගීස ස්ථවිරයන් වහන්සේට මගේ උපාධ්‍යායයන් වහන්සේ පිරිනිවියේද නැත්නම් නුවූයේ දැයි මෙසේ සිතට සිතිවිල්ලක් පහළවිය. ඉක්බිති ආයුෂ්මත් වංගීස ස්ථවිරයන්ගේ සවස් කාලයෙහි ඵලසමවතින් නැගී සිටිසේක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් වංගීස ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි මෙහි තනිව සිටි විවෙකයෙහි සිටි මට මාගේ උපාධ්‍යාය තෙමේ පිරිනිවියේද නොවූයේදැයි මෙසේ සිතට සිතිවිල්ලක් පහළවූයේයයි මෙය කීයේය. ඉක්බිති ආයුෂ්මත් වංගීස ස්ථවිරයන් වහන්සේ අස්නෙන් නැගිට සිවුර එකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි ඇඳිලිබැඳ භාග්‍යවතුන් වහන්සේට ගාථාවන් කීයේය.

“ලාමක නොවූ ප්‍රඥා ඇති, ශාස්තෲන් වහන්සේගෙන් අසමු. මේ ආත්මයෙහිම යමෙක් විචිකිච්ඡාව සිඳින්නේද, ප්‍රසිද්ධවූ යසස ඇති සැඟවුණු, සිත් ඇති භික්ෂු කෙනෙක් අග්ගාලවයෙහි කළුරිය කළහ.

“භාග්‍යවතුන් වහන්ස, ඒ බ්‍රාහ්මණයාට නිග්‍රොධ කප්පයන නම ඔබවහන්සේ විසින් තබනලදී. හෙතෙම නිර්වාණය පතන්නේ පටන්ගන්නාලද වීර්ය ඇත්තේ, මිදීම පතන්නේ ඔබවහන්සේ වඳිමින් හැසුරුණේය.

“ශාක්‍ය කුල උපන් සර්වඥයන් වහන්ස, ඒ ශ්‍රාවකයා අපි හැමෝම දැනගන්ට කැමැත්තෙමු. ශ්‍රවණය පිණිස අපගේ කන්යොමුකොට සිටියාහ. ඔබවහන්සේ අපගේ ශාස්තෲන් වහන්සේය. ඔබවහන්සේ උතුම්වෙහිය.

“අපගේ සැකය සිඳින්න, මට මෙය වදාරන්න, මහා ප්‍රාඥයන් වහන්ස, පිරිනිවියහු වදාරන්න. හාත්පස පෙනෙන ඇස් ඇත්තාණෙනි, දහසක් ඇස් ඇති ශක්‍ර දෙවෙන්ද්‍රයා මෙන් මට මැදෙහි හෝ වදාරන්න.

“මෙලොව (අභිධ්‍යාදී) යම්කිසි ගැට කෙනෙක් ඇද්ද, ඔවුහු මොහයට මාර්ගයෝය, නොදැනීම් පක්ෂයෙහිය. සැකයට හෙතුය, ඔව්හු තථාගතයන් වහන්සේ වෙත පැමිණ නොවෙත්. මේ ඇස මනුෂ්‍යයන්ට ශ්‍රෙෂ්ඨය.

“පුරිසතෙමේ කිසිකලෙක වාතය වළාකුල් රාශිය නසන සේ කෙලෙසුන් නොනසාද මුළුලෝකය අඳුරින් වෙළන ලද්දේවේද (ප්‍රඥානැමැති) ආලෝකයෙන් යුත් (සැරියුත් ආදී) මනුෂ්‍යයෝ නොබබළත්.

“පණ්ඩිත පුරුෂයෝ නුවණ කරන්නෝ වෙත් වීරයන් වහන්ස, මම ඒ ඒ දෙය එසේම සිතමි. විශෙෂයෙන් දක්නාවූ දන්නා බුදුන් වෙතට (දැනගැනීමට) පැමිණියෙමි. නිග්‍රොධකප්පයන් පිරිස මැද අපට ප්‍රකාශ කරනු මැනවි.

“යහපත් ලෙස කථා කරන වචනය වහා කියන්නේ හංසයා මෙන් තදින්ගෙන සෙමෙන් අඬව. ඉතා අලංකාරවූ බින්දු ස්වරයෙන් ඍජුව ගිය ඒ අපි සියල්ලෝ අසමු.

“ඉතිරි නොකොට ජාති මරණ ඉක්මවූ නසනලද සියලු පව් ඇති ධර්මය ඉල්ලා කියන්නෙමි. පෘථග්ජනයන්ට කැමති දේ කිරීමක් නොවේ. තථාගතයන් වහන්සේලා විමසා කරන්නෙකි.

“ඔබවහන්සේගේ ඍජු නුවණින් ප්‍රකාශ කරණලද කීම වෙනස් නුවූ බව දක්නාලදී. මේ අන්තිම දොහොත් බැඳීමයි. මනාව වඳනා ලද්දේය. දන්නා අලාමක ප්‍රඥා ඇති සර්වඥයන් වහන්ස, මුළා නොකළ මැනවි.

“දන්නාවූ අලාමක වීර්ය ඇති භාග්‍යවතුන් වහන්ස, යහපත් අයහපත් උතුම් ධර්මය දැන මුළා නොකරණු මැනව. ග්‍රීෂ්මකාලයෙහි ග්‍රීෂ්මයෙන් රත්වූ ජලය මෙන් වචනය කැමැත්තේමි ශ්‍රැතය වසනු මැනවි.

“යමක් බලාපොරොත්තුවෙන් කල්පයක් බ්‍රහ්ම චර්යාවෙහි හැසුරුනේද, කිමෙක්ද ඔහුට එය හිස් නොවූවක් වන්නේද, නැතහොත්, හෙතෙම යම්සේ මිදුණේවේද ශරීරය ශෙෂ වූයේ නිවුණේවේ.

“මේ නාමරූපයන්හි බොහෝ කාලයක් නිදා සිටි වාරයාගේ ශ්‍රොතසවූ තණ්හාව සින්දේය. ජාතිජරාමරණ ඉතුරු නොකර තරණය කෙළේය. පස්වග මහණුන්ට ශ්‍රෙෂ්ඨවූ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළේය.

“ඍෂීන්ට සත්වෙනි භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේගේ මේ වචන අසා ඒ මම පහදිමි. මා විසින් විචාරණ ලද්ද නොසිස්ය. බ්‍රාහ්මණ තෙමේ මා වංචා නොකෙළෙහිය.

“බුදුන්ගේ ශ්‍රාවකතෙමේ කියන්නා වෙන් කරන්නේද වේ. මායා ඇත්තාවූ මරුගේ දැඩිවූ තෘෂ්ණා දැල සින්ඳේය.

“සමර්ථවූ භාග්‍යවතුන් වහන්සේ සංසාරයට කාරණය දැක්කේය. එකාන්තයෙන් සුදුසු මං ඇති භාග්‍යවතුන් වහන්සේ දුකසේ එතරවිය යුතුවූ මාර භූමිය ඉක්මවා සිටියේය.”

නිග්‍රොධකප්පසුත්තං ද්වාදසමං නිට්ඨිතං.