ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

2. චූල (සුළු) වර්ගය

14. ධම්මික සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු මහසිටාණන් විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති ධම්මික උපාසක තෙම උපාසකයන් පන්සියයක් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත්පසෙක සිටි ධම්මික උපාසක තෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් මෙසේ කීයේය.

“මහත් ප්‍රඥා ඇති භවත් ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේගෙන් විචාරමි. යමෙක් ගිහිගෙන් නික්ම ශාසනයට එයිද ගිහිගෙයි හෝ උපාසකයෝ වෙත්ද, ඒ කෙසේ පිළිපදින ශ්‍රාවක තෙමේ යහපත් වේද?

“ඔබ වහන්සේ වනාහි දෙවියන් සහිත ලොකයාගේ උපතද පරලොව උපතද දන්නෙහිය. සියුම් අර්ථ දන්නා ඔබ හා සමාන කෙනෙක් නැත. ඔබ වහන්සේ ශ්‍රෙෂ්ඨ බුදුන්යයි කියනු ලැබේ.

“ඔබ වහන්සේ දත යුත්තද ධර්මයද ඉතිරි නොකොට දැන සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් ප්‍රකාශ කෙළේය. හාත්පස දක්නා නුවණ ඇති පහකළ කෙළෙස් සෙවෙනි ඇත්තෙත් වෙහිය. සියලු ලොකයෙහි නිර්මලව බබළයි.

“ජිනයයි අසා එරාවණ නම් ඇත් රජතෙම ඔබ වහන්සේගේ සමීපයට ආයේය. හෙතෙමේද ඔබ සමග කථා කොට යහපතැයි සතුටු සිතින් ගියේය.

“කුවෙර නම්වූ වෛශ්‍රවණ රජතෙමේ ධර්මය අසන්ට ඔබ කරා පැමිණෙයි. වීරයන් වහන්ස, ඔහුටද අසන ලද්දේ වදාරන්න, හෙතෙමේද අසා සතුටු සිත් ඇත්තේය.

“වාද කරුණු කැමති යම් මේ තීර්ථක කෙනෙක් ඇද්ද ඒ ආජීවකයන් හෝ නිඝණ්ඨයන් හෝ යන සියල්ලෝ සිටි තැනැත්තේ ශීඝ්‍රව යන්නකු මෙන් ප්‍රඥාවෙන් ඔබ නො ඉක්මවත්.

“වාද කරුණු කැමැති යම් මේ බ්‍රාහ්මණ කෙනෙක් ඇද්ද කිසියම් මහලු බමුණු කෙනෙක් ඇද්ද, යම් කෙනෙක් වාදීයයි හඟිත්ද ඒ සියල්ලෝ ඔබවහන්සේ කෙරෙහි අර්ථයෙන් බැඳුනාහුවෙත්.

“භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විසින් යම් මේ ධර්මයක් මනාකොට ප්‍රකාශ කරණ ලදද මේ (සත්තිස් බොධිපාක්ෂික) ධර්මය සියුම්ය. සුව එලවන්නේය. යහපත් කොට වදාරණ ලදී. එයම සියල්ලෝ අසනු කැමැති වෙති. බුද්ධ ශ්‍රෙෂ්ඨයන් වහන්ස, විචාරණ ලද අපට එය ප්‍රකාශ කරනු මැනවි.

“මේ වැඩහුන් සියලු භික්ෂුහුද එසේම අසන්ට පැමිණි උපාසකයෝද නිර්මල බුදුන් විසින් අවබොධ කරණ ලද ධර්මය ශක්‍රයාගේ සුභාෂිතය දෙවියන් මෙන් අසත්වා.”

“මහණෙනි, අසව්. මා විසින් ධර්මයද කෙලෙස් කම්පා කරණ ක්‍රමයද අස්වමි. සියල්ලෝ දරත්වා, යහපත දක්නා සුළු ප්‍රඥා ඇත්තා ප්‍රව්‍රජිතයන්ට සුදුසු ඉරියව්ව පුරුදු කරව්.

“ඒකාන්තයෙන් මහණතෙම නොකල්හි ගමෙහි නොහැසිරෙන්නේය. සුදුසු කල්හි පිඬු පිණිස හැසිරෙන්නේය. නොකල්හි හැසිරෙන්නා කරා ඇලීම් බැඳෙත්. එහෙයින් බුදුවරු නොකල්හි නොහැසිරෙත්.

“රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන මේවා සත්වයා මදයට පමුණුවත්ද, මේ ස්වභාවයන් කෙරෙහි කැමැත්ත දුරුකර සුදුසු කල්හි උදය ආහාරයට පිවිසෙන්නේය.

“මහණතෙම සුදුසු කාලයෙහි ආහාරය ලබන්නේය. හුදකලාව පහව තනිව මැඩ හිඳින්නේය. එකඟ කළ සිත් ඇත්තේ අධ්‍යාත්මය ගැන සිතමින් පිටත රූපාදියෙහි සිත පිටත් නොකරන්නේය.

“ඉදින් හෙතෙම ශ්‍රාවකයෙකු හා හෝ අන්කිසි භික්ෂුවක් සමග හෝ කථා කරන්නේ නම් ඔහුට ප්‍රණීත ධර්මය ප්‍රකාශ කරන්නේය. කේලාම් හෝ අනුන්ට දොස් කීම හෝ නොකරන්නේය.

“එකෙක් බහින් බහට එක් නුවණ අඩු ඔවුන් හොඳයයි නොකියමි. ඒ ඇලීම් එයින් පහළ වෙත්. ඒ එසේමයි ඒ සිත ඈතට යවත්.

“පිණ්ඩපාතයද, ආවාසයද, සෙනාසනද සඟල සිවුරෙහි රජස් පහකරණ ජලයද බුදුන් විසින් වදාළ ධර්මය අසා ශ්‍රෙෂ්ඨ නුවණ ඇති ශ්‍රාවකයා ප්‍රත්‍යවෙක්ෂා කොට සෙවනය කරන්නේය.

“එහෙයින් භික්ෂුව පිණ්ඩපාතයෙහිද සෙනාසනයෙහිද, සඟල සිවුරෙහි රජස් දුරුකරණ ජලයෙහිද (සිවු පසයෙහි) නෙළුම් පතෙහි දිය බින්දු මෙන් නොඇලුණේවේ.

“තොපට ගිහින් ගේ පැවැත්ම කියමි. යම් පරිද්දකින් කරන ශ්‍රාවකයා යහපත් වේද හෙතෙම අයත් ධ්‍යානාදියෙන් යුක්තව යම් මේ තනි භික්ෂු ධර්මය අවබොධ කරන්නට නොලබන්නේය.

“ලොව ස්ථාවරවූද, ගමන් කරන්නාවූද සත්වයන් කෙරෙහි දඬු බහා තබා, සතුන් නොමරන්නේය. නොමරවන්නේය. නසන්නවුන්ට අනුනොදන්නේය.

“ආර්යශ්‍රාවකතෙමේ දැන දැන ගමෙහි හෝ අරණ්‍යයෙහිවූ ස්වල්පවූ හෝ කොපමණවූ හෝ නුදුන් දෙය කල්පනා කරමින් දුරු කරන්නේය, නොගන්වන්නේය, ගන්නකුට නොඅනු දන්නේය.

“ඤාණවන්ත තෙම දැල්වෙන අඟුරුවලක් මෙන් සිතා කාම සෙවනය දුරුකරන්නේය. බ්‍රහ්මචර්යයෙහි හැසිරෙන්නට නොහැකි නම් අනුන්ගේ භාර්යාවන් නොඉක්මවන්නේය.

“සභාවට ගියේ හෝ පිරිස මැදකට ගියේ හෝ එකෙකුට හුදකලාව බොරු නොකියන්නේය. නොකියවන්නේය. කීමට අනුබල නොදෙන්නේය. සියලු නොසිදුවූ දෙය දුරුකරන්නේය.

“යම් ගිහියෙක් මේ ධර්මය රුචි කරන්නේ නම් සිහි මුළාවීමකැයි දැන මද්‍යපානය නොකරන්නේය. නො පොවන්නේය. බොන්නට අනුනොදන්නේය.

“බාලයෝ මත්වීම් හෙතුවෙන් පව් කරත්. සෙසු ජනයන්ද ප්‍රමාදවූවන් කරත්. උමතු කරන මුළා කරන බාලයන් ඇදගන්නා අකුසල් උපදින තැන අත්හරින්නේය.

“සතුන් නොමරන්නේය. නුදුන්දේ නොගන්නේය. බොරු නොකියන්නේය. මත්පැන් නොබොන්නේය. අබ්‍රහ්මචර්යාවවූ මෛථුනයෙන් වෙන් වන්නේය. රාත්‍රියෙහි නොකල්හි නොකන්නේය.

“මල් නොදරන්නේය, සුවඳ ද්‍රව්‍ය නොගන්නේය, බිම අතුරන ලද ඇඳෙහි නිදන්නේය. සසර දුක් කෙළවර කළ බුදුන් විසින් ප්‍රකාශ කරණ ලද මෙය අංග අටින් යුත් උපොෂථයයි කියනු ලැබේ.

“ඉක්බිති පක්ෂය සම්බන්ධ දහහතර වැනි දිනයෙහිද, පසළොස්වැනි දිනයෙහිද අටවැනි දිනයෙහිද පොහොය දෙපස දෙදිනද පැහැදුණු සිතින් එක් දවසකුදු අත්නොහැර අංග අටකින් යුත් පෙහෙවස වසන්නේය.

“අනතුරුව උදෑසන වසනලද පෙහෙවස් ඇති ඤාණවන්තතෙම නිතර සතුටු වන්නේ සතුටු සිතින් ආහාර පානයන්ගෙන් සුදුසු පරිද්දෙන් වළඳවන්නේය.

“හෙතෙම දැහැමින් මවුපියන් පොෂ්‍ය කරන්නේය, ධාර්මික වෙළඳාම් කරන්නේය. අප්‍රමාදව මේ ගිහි වත් පවත් වන්නේ දෙව්ලොව දෙවියන් අතරට පැමිණෙයි.”

ධම්මිකසුත්තං චුද්දසමං නිට්ඨිතං.

2 වර්ගය නිමි.