ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

2. චූල (සුළු) වර්ගය

5. සුචිලොම සූත්‍රය

“මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ ගයා තීර්ථයෙහි සුචිලොම යක්ෂයාගේ මාලිගයෙහි ගල් අස්නෙහි වාසය කරණ සේක.

එකල්හි වනාහි ඛර නම් යක්ෂතෙමේද සුචිලෝම යක්ෂ තෙමේද භාග්‍යවතුන් වහන්සේ ලඟින් යත්. ඉක්බිත්තෙන් ඛර යක්ෂතෙමේ ශුචිලෝම යක්ෂයාට මෙය කීය. ‘මේ මහණෙකි, කියා ය” “මේ මහණෙක් නොවේ. හිස් මහණෙකි. ඉදින් මෙතෙම මහණෙක්ද, නැතහොත් හිස් මහණෙක්ද, පළමුවෙන් දනිමි” ඉක්බිත්තෙන් ශුචිලොම යක්ෂතෙම භාග්‍යවතුන් වහන්සේ කරා ගියේය. ගොස් භාග්‍යවතුන්ට ශරීරය සමීපකෙළේය. භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය පහකෙළේය. ඉක්බිත්තෙන් ශුචිලොම යක්ෂතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ශ්‍රමණය මට බියවන්නෙහිදැයි” ඇසීය. “ඇවැත්නි මම බිය නොවෙමි. එසේ වුවත් තොපගේ ස්පර්ශය පවිටුයයි” වදාළසේක. “ශ්‍රමණය තොපගෙන් ප්‍රශ්න විචාරන්නෙමි ඉදින් මට ප්‍රකාශ නොකරන්නේ නම් තොපගේ සිත හෝ උමතු කරවන්නෙමි. පපුව හෝ පලන්නෙමි. දෙපය ගෙන ගඟින් එගොඩ විසිකරන්නෙමියි” කීයේය.

“ඇවැත්නි, මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සත්වයා අතරෙහි යමෙක් මාගේ සිත හෝ උමතු කරවන්නේද, පපුව හෝ පලන්නේද, දෙපය හෝ ගෙන ගඟින් එතර දමා ගසන්නේද, එවැන්නකු මම නොදක්නෙමි. එතකුදු වුවත් ඇවැත්නි, ඔබ යමක් කැමැත්තෙහි නම් එය අසවයි” වදාළසේක. ඉක්බිති සුචිලෝම යක්ෂතෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීයේය.

“රාගයද, ද්වෙෂයද කුමක් හේතුකොට ඇත්තේද? නොඇලීම හා ඇල්මද ලොමුදැහැගැන්මද කුමකින් හටගත්තේද, ගම්දරුවෝ කපුටෙක් බැඳ (ඉහළ පහළ දමන්නාක්) මෙන් සිතේ පහළවන විතර්කයෝ කොතැනින් හටගෙන ඉහළ පහළ දමත්ද?

“රාගයද ද්වෙෂයද මෙතැනින් හටගැනීම ඇත්තේය. නොඇලීමද ඇලීමද ලොමුදැහැගැන්මද මෙතැනින් ඉපදීමට ඇත්තේය. ගම්දරුවෝ කපුටෙකු (බැඳ ඉහළ පහළ දමන්නාක්) මෙන් සිතිවිලි මෙතැනින් පටන්ගෙන ඉහළ පහළ දමත්.

“නුගරුකෙහි කඳින් හටගත් අරළු (මුල්) මෙන් ස්නේහයෙන් වන්නෝ තමාගෙන්ම පහළවන්නෝය. කායයන්හි බෙහෙවින් ඇලුණෝ වනයෙහි මාලුවා නම් වැල පැතුරුණා මෙනි.

“යමකින් යම් කෙනෙක් ඒ කෙළෙස් සමූහය උපදීයයි දනිද්ද ඔව්හු ඒ හේතුව දුරුකරත් යයි යක්ෂයා අසව. ඔව්හු පෙර එතරනුවූ දුකසේ එතරවිය යුතු මේ කෙලෙස් සැඩපහර තරණයකොට නිවනට එතෙරවෙත්.”

සූචිලොමසුත්තං පඤ්චමං නිට්ඨිතං.