ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

3. මහා වර්ගය

11. නාලක සූත්‍රය

“හටගත් ප්‍රීතිය ඇති සතුටුවූ සොම්නස්වූ කිලිටි නොහඳින දෙවියන් ශක්‍රයා පිරිවරා වස්ත්‍ර රැගෙන ඉතා ස්තුති කරමින් සිටිනු දවල් විවේක වාසයට ගිය අසිත ඍෂිතෙම දුටුවේය.

“සතුටු සිත් ඇති ඔද වැඩි දෙවියන් දැක ආදර කොට එහි දිව්‍ය සමූහයා ඉතා සතුටු සිත් ඇත්තෝව වස්ත්‍ර ගෙන කරකවන්නාහු කුමක් සඳහා දැ”යි ඇසීය.

“යම් කලෙක්හි අසුරයන් හා යුද්ධය වීද, දෙවියන්ට ජය අත්විය. අසුරයන්ට පරාජය අත්විය. එදාද මෙවැනි ලොමු ඩැහැගැනීමක් විය කවර නම් පුදුමයක් දැක දෙවියෝ සතුටු වූවාහුද?

“කටින් ප්‍රීති නාදයක් පිටවෙයි. ගායනා කරත්, වැයීම කෙරෙත්, අත් පොළසන් දෙත්, නටත්. මම තොප විචාරමි. මහමෙර මුදුනෙහි වසන තොප විචාරමි. නිදුකානෙනි මාගේ සැකය වහා නසව්.”

“අසමාන ශ්‍රෙෂ්ඨ රත්නයක්වූ ඒ බොධි සත්වතෙම සැපය පිණිස උපන්නේය. ශාක්‍යයන්ගේ ජනපදයෙහිවූ ලුම්බිනි උයනෙහි මනුෂ්‍ය ලොකයට අභිවෘද්ධිය පිණිස උපන්නේය.

“සියලු සත්වයන්ට උතුම්වූ ශ්‍රෙෂ්ඨ පුද්ගලවූ නර ශ්‍රෙෂ්ඨවූ සියලු ප්‍රජාවන්ට උතුම්වූ උන්වහන්සේ ඍෂි නම් වනයෙහි බලවත් මෘගයන් මැඩපවත්වන සිංහයකු නාද කරන්නාක් මෙන් ධර්ම චක්‍රය පවත්වන්නේය.

“ඒ ශබ්දය අසා වහා බැස්සාවූ හෙතෙම ඒ වේලාවෙහි ශුද්ධොදන රාජ භවනයට පැමිණියේය. එහි වැඩහිද රජතුමනි කුමාරයා කොහිද මමත් දක්නා කැමැත්තෙමි”යි කීයේය.

“ඉක්බිති ශාක්‍ය රජතෙම අසිත තවුසාට කෝවෙහි දක්ෂලෙස දමාගන්නා ලද දිලිසෙන රන් රුවක් බඳු උසස් වර්ණයෙන් බබලන කුමාරයා දැක්වීය.

දිලිසෙන්නාවූ මොණරෙකු මෙන්ද, අහසින් යන පිරිසිදු තාරකාවක් මෙන්ද, ශරත් කාලයෙහි වළාකුල් වලින් මිදුනු තැවෙන සූර්යයා මෙන්ද, සතුටු සිත් ඇත්තාහු මහත් ප්‍රීතියක් ලැබූහ.

“නොයෙක් නන ඇති කැබලි දහසක් ඇති කුඩයක් දෙවියෝ අහසෙහි දැරූහ. රන්දඬු ඇති සෙමෙර සලත්, සෙමෙර කොඩි ගත්තවුන් නොපෙණෙත්.

කණ්හසිරි නම් ජටිලතෙම (අසිත) රන්වන් කම්බිලියෙක්හි වූ රන් කැබැල්ලක් මෙන්වූ කුමාරයා දැක මුදුනෙහි සේසත් දරමින් සතුටු සිතින් මුදුනින් පිළිගත්තේය.

“ලක්ෂණ ශාස්ත්‍රයෙහි හා මන්ත්‍ර ශාස්ත්‍රයෙහි පරතෙරට ගිය ජටිලතෙම ශාක්‍ය ශ්‍රෙෂ්ඨයා පිළිගෙන පරීක්ෂා කරන්නේ පැහැදුන සිතින් මෙතෙමේ නිරුත්තරය දෙපා ඇත්තන්ට උතුම්යයි වචන ප්‍රකාශ කෙළේය.

“නැවත තමාගේ පරලොව ගමන සිහි කරන්නේ නොසතුටු සිතින් කඳුළු වගුරුවයි. අඬන ඍෂිවරයා දැක ශාක්‍යයයෝ ඇයි දැයි ඇසූහ. “කුමාරයා කෙරෙහි අනතුරක් නැතැයි කීයේය.”

“කණගාටුවූ ඍෂිවරයා දැක ශාක්‍යවරුන්ට “මම කුමාරයාට අයහපතක් නැතැයි කියමි. මොහුට අන්තරායක් නැත. මේතෙම එසේ මෙසේ කෙනෙක් නොවේ. ශ්‍රෙෂ්ඨ සිතින් යුක්තවන්නාහ.

“මේ කුමාරතෙම සර්වඥතාඥානය ස්පර්ශ කරන්නේය. ශ්‍රෙෂ්ඨ පිරිසිදුකම දක්නාවූ මෙතෙම බොහෝ ජනයාට හිතවත් අනුකම්පා ඇත්තේ ධර්ම චක්‍රය පවත්වන්නේය. මොහුගේ බ්‍රහ්මචරියාව පැතුරුණු එකක් වන්නේය.

“මාගේද ආයුෂ මේ ලොකයෙහි බොහෝ කලක් ඉතිරි නොවේ. මාගේ කළුරිය කිරීම අතරෙහි වන්නේය. ඒ මම කිසිවෙකුට සමාන නැති වීර්යයක් ඇත්තහුගේ ධර්මය නො අසමි. එහෙයින් අඬමි. සැප නැති වීමි. දුක් වීමි.”

“ඒ බ්‍රහ්මචාරීතෙමේ ශාක්‍යයන්ට මහත් ප්‍රීතියක් උපදවා ඇතුළු පුරයෙන් නික්මුනේය. හෙතෙමේ බෑනා කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රෙෂ්ඨ වීර්යවන්තයාගේ ධර්මයෙහි තෙමේම සමාදන් කරවූයේය.

“බුද්ධ යන වචනය යම් කලෙක්හි අනුන්ගෙන් අසන්නෙහිද, උන්වහන්සේ බුදුවී නිවනෙහි හැසිරෙති. එහි ගොස් තෙමේ අසා ඒ භාග්‍යවතුන් කෙරෙහි බ්‍රහ්මචර්යයෙහි හැසිරෙව.”

“හිතවත් අදහසින් ඔහු විසින් අවවාද කරණ ලද්දේ, සමාධිගත සිත් ඇති අනාගතයෙහි ශ්‍රෙෂ්ඨ පිරිසිදු කම බලාපොරොත්තු වන රැස් කරණලද පින් ඇති, ඒ නාලක කුමාරතෙම රක්නාලද ඉඳුරන් ඇත්තේ, බුදුන් බලාපොරොත්තු වෙමින් තවුස් වෙශයෙන් විසුවේය.

“මුනි ශ්‍රෙෂ්ඨයන් වහන්සේ දම්සක් පැවැත්වීම, දෙවියන්ගෙන් අසා ඉසිපතනයට ගොස් බුදුන් දැක අසා පැහැදුනේ අසිතයන්ගේ අවවාදයෙහි පිහිටා මුනි ශ්‍රෙෂ්ඨයන් වහන්සේගෙන් උතුම්වූ මොනෙය්‍ය ප්‍රතිපදාව ඇසූයේය.

(මොනෙය්‍ය ප්‍රතිපදාව.)

“අසිතගෙන් තත්වූ පරිද්දෙන් දැනගන්නා ලද මේ වචනය සියලු ධර්මයන්හි පරතෙරට ගිය ගෞතමයන්වහන්ස, ඔබවහන්සේගෙන් විචාරමි.

“පිඬු පිණිස හැසිරෙන අනගාරික භාවයට පැමිණි මා විසින් විචාරණ ලද්දාවූ මුනිතෙමේ මුනීන්ට අයත් (මොනෙය්‍ය) ප්‍රතිපදාව වදාරණු මැනව.”

“භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.” කරන්ට දුෂ්කර ඉවසීමට දුෂ්කර මුනීන්ට අයත් ප්‍රතිපදාව විවරණය කරන්නෙමි. තමාට වීර්යයෙන් ආධාර කරව,

“ආක්‍රොශ කරන්නන්ටද වඳින්නන්ටද ගමෙහි සමාන වන්න. සන්සුන් සිත් ඇතිව නොසන්සුන් නොවී හැසිරෙන්න. සිතේ දූශ්‍යවීම වලක්වන්න.

“ලැව් ගින්නෙහි ගිනි සිළුමෙන් උස් පහත් රූපයෝ ඇස් ආදියට හමුවෙයි. ස්ත්‍රීහු මුනිවරයා ලොභ කරවත්. ඔවුන් කෙරෙහි තොප ලොභ නොවිය යුතුය.

“යහපත් අයහපත් කාමයන් අත්හැර මෛථුන ධර්මයෙන් වෙන්වූයේ පිට ප්‍රාණීන් කෙරෙහි විරුද්ධ නොවී තමන්ගේ සතුන් කෙරෙහි නොඇලුනේ ජීවත්වනු කැමැත්තන් නොමැරීමෙන්ද සැප කැමති අයට දුක් වැද්ද නොදීමෙන්ද,

“මා යම්සේද මොවුනුත් එසේය. ඔව්හු යම්සේද මාත් එසේයයි” තමා උපමා කොට හිංසා නොකරන්නේය. නොනසන්නේය.

“යම් තැනෙක්හි පෘථග්ජන සත්වතෙම යම් චීවරාදී ප්‍රත්‍යයක ඉච්ඡා නම්වූ ලොභය අත්හැර ප්‍රත්‍යය පිණිස ආජීව පාරිශුද්ධි ශීලය නොවලක්වා නුවණැසින් පුරණ ඇස් ඇති මේ මොනෙය්‍ය ප්‍රතිපදාව රකින මහණ එසේ පිළිපැද මේ ප්‍රත්‍ය තණ්හා නම් නරකය දුරලන්නේය.

“කුස ඉඩ ඇති, ප්‍රමාණවත් ආහාර ඇති ප්‍රත්‍යය ලොභය නැති අල්ප ආශා ඇත්තෙක් වන්නේය. හෙතෙම ඒකාන්තයෙන් දුරුකළ ආශා ඇත්තේ නිවුනාවූ බලාපොරොත්තු නැත්තෙක් වන්නේය.

“හෙතෙම පිඬු පිණිස හැසිර වනයට යන්නේය වෘක්ෂ මූලයට පැමිණ වැඩ සිටින්නේය.

“ධ්‍යානයෙහි ඇලුන හෙතෙම වනයෙහි ඇලුනෙක් වන්නේය. තමා සතුටු වෙමින් ගසක් මුල ධ්‍යාන කරන්නේය.

“රාත්‍රිය ඉක්මවූ කල්හි ගමට යන්නේය. ආරාධනය නොඉවසන්නේය. ගමින් ගෙන එන ලද්දද නොඉවසන්නේය.

“මුනිතෙමේ ගමට පැමිණ කුලයන්හි වහා නොහැසිරෙන්නේය. ආහාර ගැන සුන් කථා ඇත්තේ වචනයෙන් නොඉල්වන්නේය.

“යමක් නොලැබුනු කල්හි නොලත් බව හොඳ යයිද ලද නොලද බැව්හි මධ්‍යස්ථවූයේ ගසක් ළඟට ගොස් ගෙඩි ලත් හෝ නොලත් තැනැත්තකුමෙන් කම්පා නොවන්නේය.

“අත්ලෙහිවූ පාත්‍රයෙන් යුක්තව හැසිරෙන්නාවූ හෙතෙම නොගොලුව ගොලුයයි සම්මතවූයේ ස්වල්ප දානයට නොගරහන්නේය. දෙන්නාට අවමන් නොකරන්නේය.

“ශ්‍රමණයන් වහන්සේ විසින් උස් පහත් ප්‍රතිපදාවන් ප්‍රකාශ කරණ ලද්දාහ. පරතෙරට දෙවරක් නොයත්. මෙය එක මාර්ගයකින් ස්පර්ශ කරණ ලද්දක් නොවේ.

“සුන්කරණ ලද කෙලෙස් වතුර ඇති යම් භික්ෂුවකට තෘෂ්ණාවක් නැද්ද, කුසල් අකුසල් නැති කිරීමෙන් දැවීමක් නැත්තේය.

“භාග්‍යවතුන් වහන්සේ ප්‍රත්‍යයන්හි කරකැත්තේ මුවාතකට බඳු උපමා ඇති මොනෙය්‍ය ප්‍රතිපදාව කියන්නෙමි. දිවෙන් තල්ල පෙලා රස තෘෂ්ණාව හැර උදරයෙහි සංවර වන්නේය.

“කුසීත සිත් ඇත්තේ වන්නේය. බොහෝ දේ ගැන නොසිතන්නේය. කෙලෙස් නැතිව, තණ්හාදීන් ඇසුරු නොකොට ශාසන බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේය.

“සියලු ඉරියව්වෙහි හික්මෙන්නේය. ශ්‍රමණයන් විසින් ඇසුරු කටයුතු අරමුනෙහි හැසිරෙන්නේය. එකත්වය මොනයයි කියන ලදී. ඉදින් හුදකලාව සෙනසුන්හි ඇලෙන්නේය.

“දශ දිශාවෙන් එන ස්තුති වචන අසා ධ්‍යාන කරන්නාවූ වීර්යවන්තයන්ගේද, කාමය අත්හළවුන්ගේද ශබ්දයද අසා බොහෝසෙයින් ලජ්ජාවද ශ්‍රද්ධාවද මාගේ ශ්‍රාවක තෙම කරන්නේය.

“ඒ නිශ්ශබ්ද භාවය මූදට වදින ගංගා වලින් දතයුත්තාහ. ඇල වලින්ද දොළ වලින්ද කුඩා නදීන්ගෙන්ද, ශබ්දය දත යුත්තාහ.

“යමක් අඩුද එය ශබ්ද වෙයි. යමක් පිරුනේද, එය ශාන්තය. බාලයා දිය අඩු කළයක් සමානය. පණ්ඩිත තෙමේ පිරුණු සාගරය මෙනි.

“ශ්‍රමණතෙමේ යහපතින් යුත් යමක් බොහෝකොට කියාද, හෙතෙම දන්නේම ධර්ම දෙශනා කරයි. හෙතෙම දන්නේ බොහෝ කියයි.

“දන්නා දෙයක් අප්‍රසිද්ධව කීමෙන් සත්වයන්ට හිත පිණිස නොවේද, එය බොහෝ නොකියයි. ඒ මුනිතෙමේ මොනයට සුදුසුය. ඒ මුනිතෙමේ මේ මොනයට පැමිණියේය.”

නාලකසුත්තං එකාදසමං නිට්ඨිතං.