ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

3. මහා වර්ගය

2. පධාන සූත්‍රය

“නෙරඤ්ජරා නදී තීරයෙහි වීර්ය කරන්නාවූ යොගයන්ගෙන් නිර්භය ස්ථානයට පැමිණීමට ඉතා වීර්යයෙන් ධ්‍යාන කරන ඒ මා කරා

“මාරතෙම මෛත්‍රී වචනය කියමින් පැමිණියේය. හෙතෙම’ ඔබ කෙට්ටුවූයේ වෙහි, දුර්වර්ණවූයෙහිද මරණය ඔබ සමීපයෙහිය.

“ඔබගේ මරණයට කොටස් දහසකි. ජීවිතය එක් කොටසකි. පින්වත ජීවත්වන්න මෙසේ ජීවිතය ශ්‍රෙෂ්ඨය. ජීවත් වෙතොත් පිනුත් කළ හැක.

“ඉදින් කලින් කළ බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නාවූ ගිනිදෙවියාටද පුදන්නාවූ ඔබට බොහෝ පින් රැස්වේ. වීර්යයෙන් කුමක් කරන්නේද?

“වීර්ය සඳහා මඟ දුකසේ යායුතුය. දුෂ්කරය, දුකසේ ලැබිය යුතුය.” මාරතෙම මෙසේ ගාථා කියමින් බුදුන් සමීපයෙහි සිටියේය.

එසේ කියන්නාවූ ඒ මාරයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ප්‍රමාදවූවන්ට නෑකම් ඇති පවිටු මාරයා යම් කරුණකින් මෙහි ආවෙහිද?

“ස්වල්ප මාත්‍රවූද පිනකින් මට ප්‍රයොජනයක් නැත. යම් කෙනෙකුට පිනින් ප්‍රයොජනයක් ඇත්නම් මාරතෙම ඔවුන්ට කියාවා.

“මට ශ්‍රද්ධාවක් ඇත. ඊට වඩා වීර්යයක් ඇත. මට ප්‍රඥාවක් ඇත, මෙසේ ජීවිතයෙහි ආසා නැති මෙබඳු මාගෙන් කිමෙක්ද ජීවත්වීමක් ගැන අසන්නෙහිද?

“මේ වාතය ගංගාවන්ගේ සැඩපහර පවා වියලන්නේය. මෙසේ කාය ජීවිත දෙකෙහි නිරපෙක්ෂ මගේ ලෙය කුමක් හෙයින් නොවියලන්නේද?

“ලෙය වේලෙන කල්හි පිතද සෙමද වේලෙයි, මස ක්ෂයවන කල්හි බොහෝ සෙයින් සිත පහදී. බොහෝ සෙයින් මගේ සිහියද ප්‍රඥාවද සමාධියද සිටියි.

“මෙසේ වාසය කරන්නාවූ මට පැමිණි උතුම් වෙදනාව පිරිසිදුකම බලාපොරොත්තු වන සත්වයා සිත ඒකාන්තයෙන් බලාපොරොත්තු නොවේ.

“මාරය, ඔබගේ පළමුවෙනි සෙනාව වස්තුකාමයන්හි ක්ලෙශකාමයයි. දෙවැන්න යහපතෙහි නොඇලීමය, තුන්වැන්න බඩගින්න හා පිපාසයය. සතරවැන්න සෙවීම් සංඛ්‍යාත තණ්හාවය.

“පස්වැන්න සිත කය දෙකේ නිදිබර ගතිය සවැන්න බියය, සත් වැන්න සැකය, අටවැන්න ගුණමකුකම හා තදගතියයි.

“ලාභය, ගුණකීම, සත්කාරය, බොරුවෙන් ලත් යසයද යම් තමා උසස් කිරීමද, අනුන් ගැරහීමද,

මෝතොමෝ මාරය, ශ්‍රමණ බ්‍රාහ්මණයන් නසන්නාවූ තොපගේ සෙනාවය. ඒ සේනාව සූරනොවූ තැනැත්තාම නොදිනයි, දිනා සැප ලබයි.

“මේ මෘදු තෘෂ්ණා පරිහරණය කරණ මගේ ජීවිතයට නින්දාවේවා. මට යුද්ධයෙහි මරණය ශ්‍රෙෂ්ඨය, ඉදින් ජීවත් වූයේ නම් පැරදුනාක්මෙනි.

“තොපගේ සෙනාවට අසුවූ ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මෙහි මනුෂ්‍යයන් වශයෙන් පෙනී නොසිටිත්. මනා ව්‍රත ඇත්තේ යමකින් යත් නම් ඒ මාර්ගය නොදනිත්.

“හාත්පස වාහනය පිට නැගි මාරයා සහිත සෙනාව දැක යුද්ධයට ඉදිරියෙහි යමි. මා සිටි තැනින් නොසෙලවූයේය.

“අමු මැටි බඳුනක් ගලෙන් මෙන් දෙවියන් සහිත ලොකයා මේ සේනාව මැඩ නොපවත්වයිද, ඔවුන් නුවණින් යටපත් කරමි.

“මිච්ඡා සංකප්පය වසඟ කොට සිහිය මොනවට පිහිටුවා බොහෝ ශ්‍රාවකයන් හික්මවමින් රටින් රට හැසුරුනෙමි.

“අප්‍රමාදවූ කාය ජිවිත දෙකෙහි ආලය නැති මගේ අනුශාසනාව කරන්නාවූ ඔව්හු යම් තැනකට ගොස් ශොක නොකරත්ද නිදුකින් යත්.

“සත්වසක් පියෙන් පිය බුදුන් පිටිපස ලුහුබැන්දෙම්” සිහිය ඇති බුදුන්ගේ දොෂයක් නොදැක්කෙමි.

“මෙදවර්ණ ගලක කවුඩු තෙම හොටින් කොටා හාත්පසින් ගියේ යම්සේද මෘදුබව දකිම් මුත් ආශ්වාදයක් නැතැයි කලකිරී පහව ගියේද,

“සැපයක් නොලැබ, කපුටා ගියේ යම්සේද ශෛලයට පැමිණි කවුඩා මෙන් ගෞතමයන් ගෙන් කලකිරී ගියේය.

“ශොකයෙන් මඩනාලද ඔහුගේ කිසිල්ලෙන් වීනාව බිම වැටුනේය. ඉන් සිත නරක්වූ මාරතෙම එහිම අතුරුදහන් විය.”

පධානසුත්තං දුතියං නිට්ඨිතං.