ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

3. මහා වර්ගය

6. සභිය සූත්‍රය

(මෙහි 1 බොධි වර්ගයේ 6 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)

“එකල්හි වනාහි සභිය පරිබ්‍රාජකයාගේ පැරණි සහලේ නෑ දෙවතාවකු විසින් ප්‍රශ්න පමණක් අසන ලද්දාහු වෙත්. සභිය තොප විසින් විචාරණ ලද මේ ප්‍රශ්න යම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ප්‍රකාශ කරන්නේද ඔහු වෙත බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙව. ඉක්බිති සභිය පරිබ්‍රාජක තෙම ඒ දෙවතාවාගේ සමීපයෙහි ඒ ප්‍රශ්න උගෙන,

(i) පිරිස් ඇති ශාස්තෘවරුන් යයි අඟවන ගිහි පැවිද්දන්ගේ ගුරුවරුවූ ප්‍රසිද්ධවූ ලාභ ඇති තීර්ථක නායකවූ බොහෝ දෙනා විසින් යහපතැයි සම්මත කරණලද යම් මේ පූරණ කාශ්‍යපය, මක්ඛලිගොසාලය, අජිතකෙසකම්බලය, පකුධ කත්‍යායනය, සඤ්ජය බෙල්ලට්ඨි පුත්‍රය, නිඝණ්ඨනාථපුත්‍රය යන ඔවුන් වෙත පැමිණ ඒ ප්‍රශ්න අසයි. (ii) සභිය පරිබ්‍රාජකයා විසින් ප්‍රශ්න ඇසූකල්හි පිළිතුරු නොදෙත්. උත්තර නොදෙන්නාහු කොපයද, තරහද, නොසතුටද, ප්‍රකාශ කරත්. නැවත සභිය පරිබ්‍රාජකයාගෙන්ම අසත්. ඉක්බිති සභිය පරිබ්‍රාජකයාට (මෙහි මේ සූත්‍රයේ 3 (i) ඡෙදය යෙදිය යුතුයි.) යම් ඒ පින්වත් මහණ බමුණු කෙනෙක් ඇද්ද මා විසින් ප්‍රශ්න විචාරණ ලද්දාවූ ඔව්හු පිළිතුරු නොදෙත්. පිළිතුරු නොදෙන්නාහු මගෙන්ම අසත්. මම ගිහිවී කාමයන් අනුභව කරන්නෙම් නම් යහපතැයි” මේ සිත විය.

ඉක්බිති සභිය පරිබ්‍රාජකයාට මේ සිත විය. ‘මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේද පිරිස් ඇත්තෙකි. සමූහ ඇත්තෙකි. ගිහි පැවිද්දන්ගේ ගුරුවරයෙකි. ප්‍රසිද්ධ කෙනෙකි. තීර්ථක නායකයෙකි. බොහෝදෙනා විසින් යහපතැයි ප්‍රසිද්ධය. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත පැමිණ මේ ප්‍රශ්න අසන්නෙම් නම් යෙහෙකැයි’ සිතීය.

ඉක්බිති සභිය පරිබ්‍රාජකයාට මේ සිත විය. ‘දිරූ වැඩි මහලුවූ නාකිවූ බොහෝ කල් ගිය පශ්චිම වයසට පැමිණි ස්ථවිරවූ බොහෝ රාත්‍රි දන්නා පැවිදිව බොහෝ කල් ගිය, (මෙහි මේ සූත්‍රයේ 3 (i) ඡෙදය යෙදිය යුතුයි.) ඔව්හුද මා විසින් ප්‍රශ්න අසන ලද්දාහු නොකියත් නොකියන්නාහු කොපයද, ද්වෙෂයද, නොසතුටද පහළ කරත්. නැවත අන් කෙනෙකුගෙන් අසත්ද, කිමෙක්ද, මට ශ්‍රමණ ගෞතමතෙම මේ ප්‍රශ්න විචාරන ලද්දේ ප්‍රකාශ කෙරේද, ශ්‍රමණ ගෞතම තෙමේද, උත්පත්තියෙන් බාල වයස් ඇත්තෙකි. පැවිදිවී අලුතය. ඉක්බිති සභිය පරිබ්‍රාජකයාට මේ අදහසවීය. ශ්‍රමණයන් වනාහි බාල වයස්යයි අවමන් නොකළ යුතුය. ඉදින් ශ්‍රමණ තෙමේ බාල වයස් වුවත් හෙතෙමේ මහත් ඍද්ධි ඇත්තේය. මහත් ආනුභාව ඇත්තේය. මම ශ්‍රමණ ගෞතමයන් වෙත පැමිණ මේ ප්‍රශ්න අසන්නෙම් නම් යෙහෙකැයි’ යනුවෙනි.

ඉක්බිති සභිය පරිබ්‍රාජකතෙමේ රජගහ නුවර යම් තැනෙක්හිද එහි ගමන් කෙළේය. පිළිවෙළින් ගමන් කරන්නේ රජගහ නුවර වෙළුවනය යම් තැනෙක්හිද කලන්දක නිවාපය යම් තැනෙක්හිද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි සභිය පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවන් කීයේය.

(i) “ඇසීමට සැක ඇත්තෙමි. ප්‍රශ්න කෙරෙහි සැක ඇත්තෙමි. ප්‍රශ්න ඇසීමට ඉතාම කැමැත්තෙන් පැමිණියෙමි. ප්‍රශ්නයන් මා විසින් විචාරණ ලද්දේ ඔවුන් අවසන් කරන්නෙකු වේවා පිළිවෙළින් ප්‍රශ්නයන්ට පිළිතුරු පාළියට නගා මට ප්‍රකාශ කරන්නැයි” සභිය කියා සිටියේය.

(ii) “සභිය, ප්‍රශ්න විචාරන්නට කැමැත්තෙන් දුර සිට ආයෙහිද? විචාරණ ලද ඒ ප්‍රශ්න නිරාකරණය කරමි. තොපට ප්‍රශ්න අනුව අර්ථයට ගැලපෙන පාළියට නගා එය ප්‍රකාශ කරමි.

(iii) “යම් කිසිවෙක් සිත කැමැත්තෙහි නම් සභිය මාගෙන් ඒ ප්‍රශ්න අසව. ඒ ඒ ප්‍රශ්නය මම අවසන් කරමි.”

(iv) ඉක්බිති සභිය පරිබ්‍රාජකයාට මේ සිත විය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්යයි, පින්වත, ඒකාන්තයෙන් අද්භූතයි. යම්හෙයකින් අනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙන් මම අවකාශ මාත්‍රයකුදු නොලද්දෙමි. මට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ විසින් මේ අවකාශය කරණ ලද්දේ යයි.” සතුටුවූයේ ප්‍රමුදිතවූයේ ප්‍රීතිය හා සොම්නස ඇතිවූයේ භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න ඇසූයේය.

“භික්ෂූන් විසින් කුමක් ලබන ලද්දේද? කුමකින් සන්සිඳුනේද? කෙසේ දැමුනාහුද? බුදුන් යයි කෙසේ කියයිද? විචාළ මට භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරණු මැනවයි” සභියතෙමේ ඇසීය.

“සභිය, යමෙක් තමා විසින් පුරුදු කරණ ලද මාර්ගයෙන් ක්ලෙශ පරිනිර්වාණයට පැමිණියේද, පහකළ සැක ඇත්තේද, ශාස්වත උච්ඡෙද දෘෂ්ටි හැර බඹසර වැස නිමවා ක්ෂය කළ නැවත උත්පත්තිය ඇත්තේ ද ඒ මහණතෙම,

“හැම අරමුණකම මධ්‍යස්ථවූයේ සිහියෙන් යුක්ත වූයේ ලොකයෙහි කිසිසත්වයෙකුට හිංසා නොකෙරේද යමෙක් හට ක්ලෙශ නැද්ද, හෙතෙම නොයෙක් කෙලෙස් සංසිඳවූ බැවින් සතර ඕඝයෙන් එතරවූයේය. පව් සමනය කළේය. අවුල් අදහස් ප්‍රහීන කෙළේය.

“යමක්හු විසින් සියලු ස්කන්ධ ලොකයෙහි තමා තුළද පිටත්හිද ඉන්ද්‍රියයන් සයදෙන පුරුදු කරණ ලද්දාහුද, මෙලොවද, පරලොවද දැන කල් බලයි. පුරුදු කරණ ලද ඉඳුරන් ඇති හෙතෙම දැමුනේය.

“සියලු තෘෂ්ණා දෘෂ්ටීන් අනිත්‍යාදී වශයෙන් බලා සංසාරයද චුති උත්පත්ති දෙකද දැන පහවූ රාගාදී ධූලි ඇති කෙලෙස් නැති පිරිසිදුවූ නිවණට පැමිණි හෙතෙම බුද්ධ යයි කීහු.

ඉක්බිති සභිය පරිබ්‍රාජකතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ කියමනට සතුටුව අනුමෝදන්ව සතුටුවූයේ ප්‍රමොදවූයේ ඔද වැඩියේ හටගත් ප්‍රීති සොම්නස් ඇත්තේ, භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්න විචාළේය.

“බමුණන් විසින් කුමක් බලාපොරොත්තුවන කෙසේ ලද්දෝද, කුමකට පැමිණියහුට බ්‍රාහ්මණයයි කියාද, ශ්‍රමණයා සෝදා හරිනලද පව් ඇත්තේවේද, නාගයයි කෙසේ කියන ලද්දේද, මවිසින් විචාරණ ලද භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරණු මැනවියි” සභියතෙමේ ඇසීය.

“සභියය පරමාර්ථ බ්‍රාහ්මණතෙම සියලු පාපයන් දුරුකොට නිර්මලවූයේ අර්හත් ඵල සමාධියෙන් යහපත්යයි නිශ්චයවූයේද, ස්ථිරවූයේද, සංසාර හෙතුව ඉක්මවා කටයුතු අවසන් කර තනිවූයේද, හෙතෙම තෘෂ්ණාදිය ඇසුරු නොකළේ ලොක ධර්මයෙන් වෙනසකට නොපැමුණේ යයි කියන ලදී.

“පින් පවු අත්හැර රහත් මගින් කෙලෙස් සමනය කොට කෙලෙස් රජස් නැතිව මෙලොවද පරලොවද දැන උත්පත්තිය හා මරණය දුරුකළේ ශ්‍රමණයායයි කියනු ලැබේ.

“අධ්‍යාත්මයෙහිද පිටත්හිද සියලු ලොකයෙහි සියලු ලාමක දෙය සෝදා හැර තෘෂ්ණා දෘෂ්ටි සිතීම් වලින් සිතිය යුතු දෙවි මිනිසුන් කෙරෙහි රාගාදී සිතීමකට නොපැමිණියේහුයි. ඔහු නෑවේයයි කියනු ලැබේ.

“ලොකයෙහි සියලු දසසංයොජනාදී බැමිද කාමාදී සංයොගද, මුදාහැර පවක් නොකෙරේද, කිසි ස්කන්ධයක නොඇලේද, කෙලෙසුන්ගෙන් මිදුණු එබඳු තැනැත්තේ නාගයයි කියනු ලැබේ.”

“ඉක්බිති සභිය පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්න විචාළේය.

“සභියතෙමේ, බුදුවරයෝ දක්ෂවූ කවරෙකුට ක්ෂෙත්‍ර සංඛ්‍යාත ආයතනයන්ගෙන් මිදුනේයයි කියත්ද කවර කරුණකින් කෙසේ පණ්ඩිතයයි කියනු ලැබේද කෙසේ මුනි නම් කියයිද, මවිසින් විචාරණ ලද භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරණු මැනවියි” ඇසීය.

“සභියය, සියලු ආයතන නම් ක්ෂෙත්‍රයන් මැඩ සියලු දිව්‍ය මනුෂ්‍ය බ්‍රහ්ම ආත්මභාව වලට අයත් ඇතුළත පිටත වශයෙන් විප්‍රකාරවූ දොළොස් ආයතන වලින් මිදුන ක්ෂෙත්‍රයන් ජයගත් තැනැත්තේ කම්පා නොවන බැවින් තාදීයයි කියනු ලැබේ.

(මෙහි “ක්ෂෙත්‍රයන්ට” කුශලා කුශලකර්ම නැමැති “කොෂය” යනු යොදා 18 වෙනි ඡෙදය යෙදිය යුතුයි.)

“පිරිසිදු නුවණ ඇත්තේ අධ්‍යාත්මයෙහිද පිටත්හිද දෙවැදෑරුම් ආයතනයන් පරීක්ෂාකොට කුශල අකුශලයන් ඉක්මවූ පණ්ඩිතතෙමේ නොසෙල්වෙන අර්ථයෙන් තාදීයයි කියනු ලැබේ.

“ඒ මුනිතෙමේ රාගාදී ඇලීම්ද තෘෂ්ණා දෘෂ්ටි ආදී දැල්ද ඉක්මවා සියලු ලොකයෙහි ඇතුළත්හිවූද පිටත්හිවූද අයහපත්වූද යහපත්වූද, ධර්මය දැන ගත් හෙතෙම දෙවි මිනිසුන් විසින් පිදිය යුතු වූයේවේද.

ඉක්බිති සභිය පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්න විචාළේය.

“ධර්මය දැන වෙදය දත් වීර්ය ඇත්තේ කුමක් ලබන ලද්දේ ද, කවරෙකු විසින් කෙසේ ප්‍රකාශ කරණ ලද්දේද? ආජානෙයතෙමේ කවරෙක් වේද, මා විසින් අසන ලද්ද, භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශකොට වදාරණ සේක්වායි” සභිය තෙමේ ඇසීය.

“සභියය, ශ්‍රමණයන් විසින්ද, බ්‍රාහ්මණයන් විසින්ද පනවන ලද සියලු වේදයන් සොයාබලා සියලු වේදනාවන්හි පහවූ ආශා ඇතිව හෙතෙම සියලු වේද ඉක්මවා වෙද දතුවෙක් වූයේය.

“තෘෂ්ණාදි සසර ප්‍රමාද කරවන කෙලෙස්ද නාමරූප දෙකද අධ්‍යාත්මයෙහිවූද, පිටත්හිවූද රොග මුල්ද දැන සියලු රොග මුල් බැම්මෙන් මිදුනු කම්පානොවන තැනැත්තේ තාදීයයි කියනු ලැබේ.

“මේ ලොකයෙහි සියලු ලාමක දෙයින් වෙන්වූ වීර්ය ඇති හෙතෙමේ අපාය දුක් ඉක්මවා වීර්ය ඇත්තේ ධ්‍යාන මාර්ග වැඩීමෙන් යුක්තවූයේ කෙලෙස් සතුරන් නැසීමෙහි සමත් ඤාණවන්ත තෙමේ කම්පානොවන හෙයින් තාදීයයි කියනු ලැබේ.

“අධ්‍යාත්මයෙහිවූද, පිටත්හිවූද, ඇලීමට මුල්වූ බැමි යමෙකු විසින් සිඳින ලද්දාහු වෙත්ද සියලු ඇල්මට මුල්වූ බැමිවලින් මිදුනු නොසෙල්වෙන ශ්‍රෙෂ්ඨතෙමේ ඉෂ්ට අනිෂ්ට දෙක්හිම එක සමානය.”

“ඉක්බිති සභිය පරිබ්‍රාජකතෙමේ භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි ප්‍රශ්න විචාළේය.

“කුමකට පැමිණෙන ලද්දේ සුවපත්ද? ආර්යතෙමේ කුමක් හෙයින් කෙසේ හැසිරීමෙන් යුක්තද? පරිබ්‍රාජක තෙමේ කෙසේ වේද, භාග්‍යවතුන් වහන්සේ විචාරණ ලද මට ප්‍රකාශ කරණු මැනවියි” සභිය තෙම ඇසීය.

“භාග්‍යවතුන් වහන්සේ “සභියය, ලොකයෙහි යම් කිසි වරද නිවරදයයි යම් ධර්මයක් වේද, සියලු ධර්මය විශිෂ්ට ඥානයෙන් දැන කාමරූපාදිය ඉක්මවූ සැක නැති මිදුනු කෙලෙස් ඇත්තා හැමතන්හි සුවසේය.

“ආශ්‍රවයන්ද, ආලයයන්ද, සිඳ ඒ ඤාණවන්ත තෙමේ නැවත ගර්භයක ඉපදීමට නොපැමිණේ. කර්මාදී සංඥාද කාම ගුණාදී පංකද (එරෙන තැන්ද) දුරලා තෘෂ්ණාදී හැඟීමකට නොපැමිණෙයි.

“මේ ලෝකයෙහි ශීලාදීන්හි පැමිණිය යුත්තට පැමිණි යම් දක්ෂයෙක් හැමකල්හි ධර්මය දනීද, කෙලෙසුන් ගෙන් මිදුන හෙතෙම හැම තැනම නොඇලෙයි. යමෙකුට ක්‍රොධ නැද්ද හෙතෙම ශීලාදී චරණ ධර්ම ඇත්තේවේ.

“උඩයට සරස මැද නොහොත් තුන්කාලයෙහිම දුක් විපාක ඇති යම් කර්මයක් ඇත්තේද එය දුරුකොට නුවණින් පිරිසිඳ හැසිරෙන්නේ මායාව මානය සහ ලොභය ක්‍රොධයද නුවණින් සිඳ දමා නාමරූපයද කෙළවර කෙළේද, පැමිණිය යුත්තට පැමිණි ඔහු පරිබ්‍රාජකයයි කියන ලදී.”

“ඉක්බිති සභිය පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වනයට සතුටුව අනුමෝදන්ව ප්‍රීතිවූයේ ප්‍රමොදවූයේ ඔදවැඩියේ ප්‍රීති සොම්නස්වූයේ අස්නෙන් නැගිට උතුරු සළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි ඇඳිලි බැඳ බුදුරජාණන් වහන්සේ සමීපයෙහි සුදුසු ගාථාවෙන් ස්තුති කෙළේය.

“මහත් ප්‍රඥා ඇත්ත, තුනක්වූද, සැටක් වූද, ශ්‍රමණයන්ගේ වාදයෝ ඇත්ද ඒවා ස්ත්‍රී පුරුෂ යන සංඥා අකුරු ඇත්තේය, සංඥාවන් ඇසුරු කළාහුය (මිථ්‍යා තොටවල්) තීර්ථයන් ඉක්මවා ඔඝයන්ගේ අන්තයට ගියෝය.

“දුක් අවසන් කළ පරතෙරට ගිය රහත් කෙනෙක, සම්‍යක් සම්බුද්ධය, ඔබ වහන්සේ ක්ෂීණාශ්‍රවයෙකැයි හඟිමි. දුක් කෙළවර කළ බබළන, ඤාණවන්ත මහාප්‍රාඥතෙමේ මා සැකයන්ගෙන් එතර කෙළේය.

“මා විසින් සිතනලද යමක් දැන ගත්තේද සැකයෙන් මා තරණය කෙළේද, මුනීන්ගේ මාර්ගයන්හි පැමිණිය යුත්තට පැමිණියාවූ නුඹ වහන්සේට නමස්කාර වේවා. පින්වතුන් වහන්සේ සම්පූර්ණ සූර්ය වංශයේ ඤාතිවරයෙකි. නානාප්‍රකාර කෙළෙස් සංසිඳවූවෙහිය.

“මට යම් සැකයක් පෙරවීද, එය පසැස් ඇති ඔබ වහන්සේ මට ප්‍රකාශ කෙළේය. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් මුනිය. ඔබ වහන්සේට නීවරණ නැත්තේය.

“නුඹ වහන්සේ විසින් සියලු දැඩි ආයාසයෝ දමන ලදහ. උදුරා දමන ලද්දාහ, එසේ කොට සිහිල්වූයෙහිය, ක්ලෙශ දමනයට පැමිණියේය. ප්‍රඥා ඇත්තෙහිය. සත්‍යයෙන් නික්මුණේය.

“කෙලෙසුන් නොඑන අර්ථයෙන් නාගයන්ගේ ශ්‍රෙෂ්ඨ නාගවූ මහාවීරවූ සත්‍යය කියන්නාවූ ඒ ඔබ වහන්සේගේ වචන සියලු පර්වතවාසීවූද ආකාශවාසීවූද දෙවසමූහයෝ අනුමෝදන්වෙත්.

“පුරුෂයන්ට ඉතා ශ්‍රෙෂ්ඨ තැනැත්ත, ඔබට නමස්කාරවේවා. පුරුෂ ජාතියෙහි උතුම් තැනැත්ත ඔබට නමස්කාරවේවා. දෙවියන් සහිත ලොකයෙහි ඔබවහන්සේට සමාන පුද්ගලයෙක් නැත.

“ඔබවහන්සේ බුද්ධය, ඔබවහන්සේ ශාස්තෘය, ඔබවහන්සේ මාරයන් අභිභවනය කළ මුනිය, ඔබවහන්සේ අනුශයයන් සිඳ එතරවූයේ මාද ප්‍රජාවද තරණය කරවනු මැනව.

“ඔවුන්ගේ කෙලෙස් ඉක්මවූවාහු ඔබවහන්සේ විසින් ආශ්‍රවයෝ පළනලද්දාහුය. ප්‍රහීනකළ භය හා භයානක අරමුණු නොගන්නා සිංහයෙක් වෙහිය.

“ලක්ෂණ පියුමක් යම්සේ ජලය හා නොගැටේද, එසේ පින්ද පව්ද යන දෙක ඔබවහන්සේ නොඅල්ලන්නේය. වීරයන් වහන්ස, පා දිගුකරණු මැනවි. සභියතෙමේ ශාස්තෲන් වහන්සේට වදියි.”

ඉක්බිති සභිය පරිබ්‍රාජකතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපාමුල මුනින් වැටී භාග්‍යවතුන් වහන්සේට (මෙහි 1 වර්ගයේ 4 සූත්‍රයේ 8 ඡෙදය යෙදිය යුතුයි.) ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබන්නෙමි. උපසම්පදාව ලබන්නෙමියි” කීයේය.

“සභියය පෙර අන්‍යතීර්ථකවූ යම්කෙනෙක් මේ ශාසනයෙහි පැවිද්ද කැමැත්තේ නම් උපසම්පදාව කැමැත්තේ නම්, හෙතෙම සාරමාසයක් හික්මෙයි, සතර මාසයකගේ ඇවෑමෙන් සතුටු කළ සිත් ඇති බැවින් භික්ෂූහු මහණකම පිණිස පැවිදි කරවත්, උපසම්පදාකරවත්, එනම් මෙහිදී පුද්ගලයන්ගේ තත්වය දැනගන්නා ලද්දාහ.”

“ස්වාමීනි ඉදින් පෙර අන්‍යතීර්ථකවූ කෙනෙක් මේ ධර්මවිනයෙහි පැවිද්ද කැමති වන්නාහුද උපසම්පදාව කැමතිවන්නාහුද මහණකම පිණිස සාරමසක් හික්මෙත්ද, සාරමසක් ඇවෑමෙන් භික්ෂූන්ගේ සිත් සතුටු කළ බැවින් පැවිදිකරවත්ද, උපසම්පදා කරවත්ද, මම සතර අවුරුද්දක් හික්මෙමි, සතර අවුරුද්දකට පසු භික්ෂූන් සතුටුකළ බැවින් මහණකමට පැවිදි කෙරෙත්වා, උපසම්පදා කෙරෙත්වා.”

“සභිය පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙන් පැවිද්ද ලැබූයේය. උපසම්පදාව ලැබූයේය. (මෙහි 1 වර්ගයේ 4 සූත්‍රයේ 9 (ii) ඡෙදය යෙදිය යුතුයි) සභිය තෙමේ රහතන් වහන්සේලා අතුරෙන් කෙනෙක් වූයේය.”

සභියසුත්තං ඡට්ඨං නිට්ඨිතං.