ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

3. මහා වර්ගය

7. සෙලසූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ එක් දහස් දෙසිය පණහක් පමණ භික්ෂු සංඝයා සමග උතුරෙහිවූ අඟු ජනපදයෙහි චාරිකා කරණසේක් ආපණ නම්වූ උතුරෙහිවූ අඟු ජනපද වාසීන්ගේ නියම් ගමක්වීද, එහි වැඩිසේක.

කෙණිය ජටිලතෙම ශාක්‍යකුලයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අඟු ජනපදයෙහි එක්දහස් දෙසියපණසක් පමණ භික්ෂු සංඝයා ඇති මහත් භික්ෂු සමූහයක් සමග ඇවිදින ගමන් ආපණයට පැමිණියේයි ඇසුවේය. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ (ii) ඒ මෙබඳු කීර්ති ශබ්දයක් පැනනැංගේය එනම් ‘මේ කාරණයෙනුදු ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ (iii) අර්හත්ය, සම්‍යක් සම්බුද්ධය, විද්‍යාවන්ගෙන් හා චරණයන් ගෙන් යුක්තය, සුගතය, ලොකවිදූය, පුරුෂයන් දමනය කරණ නිරුත්තර සාරථියෙකි. දෙවිමිනිසුන්ගේ ශාස්තෘවරයාය. බුද්ධය, පින් ඇත්තේයයි’ කියායි. (iv) ‘හෙතෙමේ දෙවියන් සහිත මරුන් සහිත, බ්‍රහ්මයා සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සත්වලොකය තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට ප්‍රකාශකරයි, (v) හෙතෙම මුල යහපත් මැද යහපත් අග යහපත් අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත සම්පූර්ණයෙන් පිරුණු පිරිසිදු බ්‍රහ්මචර්ය ප්‍රකාශ කරයි. (vi) එබඳු රහතන්ගේ දර්ශනය යහපත්යයි’ සිතුයේය.

ඉක්බිති කෙණිය ජලටිලතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාවකොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි කෙණිය ජලටියාට භාග්‍යවතුන් වහන්සේ (ii) දැහැමිකථාවෙන් කරුණු පෙන්විය. පින් කළයුතු බැව්හි සමාදන් කරවූයේය. වීර්ය වැඩිකළේය, සතුටු කෙළේය, ඉක්බිති කෙණිය ජටිලතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් අනුසස් පෙන්වන ලද්දේ, සමාදන් කරවන ලද්දේ. වීර්ය වැඩිකරණ ලද්දේ සතුටු කරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා සමග සෙට දින දානය ඉවසනු මැනැවැයි” කියේය.

මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ කෙණිය ජටිලයාට

(ii) “කෙණිය, භික්ෂු සංඝයා මහත්ය, එක්දහස් දෙසිය පණසක් පමණය, ඔබද බමුණන් කෙරෙහි පැහැදුනෙකි”යි වදාළසේක.

(iii) දෙවනුවත් (iv) කෙණිය ජටිලතෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයන් වහන්ස, භික්ෂු සංඝයා එක්දහස්දෙසිය පණසක් වුවත් මම බ්‍රාහ්මණයන් කෙරෙහි පැහැදුන කෙනෙක්වුවත්, භවත් ගෞතමයන් වහන්සේ හෙට භික්ෂු සංඝයා සමග මගේ දානය ඉවසනු මැනවැයි” ආරාධනා කළේය. (v) දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ කෙණිය ජටිලයාට (මෙහි 4 (ii) යෙදිය යුතුයි.) තුන්වනුවත් කෙණිය (මෙහි 4 (iv) යෙදිය යුතුයි.) භාග්‍යවතුන් වහන්සේ කථානොකර ඉවසූසේක.

ඉක්බිති කෙණිය ජටිලතෙම භාග්‍යවතුන් වහන්සේ ඉවසා වදාළ බව දැන අස්නෙන් නැගිට තමාගේ ආශ්‍රමය යම් තැනෙක්හිද එහි ගියේය. ගොස් චිත්‍රාමාත්‍යයන්ටද නෑ සහලේ නෑයනටද “මගේ නෑ සහලේ නෑ වූ පින්වත්හු අසත්වා. මා විසින් මාගේ පින්වත් ශ්‍රමණ ගෞතමයන් හෙට දවසට පිණිස භික්ෂු සංඝයා සමග දනට ආරාධනා කෙළෙමි, යම්කාරණයකින් මට කයින් කරණ වැඩපලකට සහභාගිවව් යයි” කීවාහුය.

“පින්වත, එසේයයි” (ii) කෙණිය ජටිලයාගේ මිත්‍රයෝද අමාත්‍යයෝද නෑසහලේ නෑයෝද කෙණිය ජටිලයාට පිළිවදන්දී, සමහරෙක් ලිප් බඳිත්, සමහරෙක් දර පලත්, සමහරෙක් භාජන සෝදත් ඇතැම්කෙනෙක් දියසැලි පුරවත්, ඇතැම් කෙනෙක් අසුන් පනවත්, කෙණිය ජටිල තෙමේ තමාම දන්ශාලාව සරසයි.

(iii) ඒ අවස්ථාවෙහි නිඝණ්ඩු සහිත කෙටුභ ශාස්ත්‍රය දත්, නිරුක්ති ශාස්ත්‍ර දත්, ඉතිහාස පස්වෙනිකොට ඇති වෙදයද කියවන්නාවූ විතණ්ඩවාදය, මහාපුරුෂලක්ෂණ ශාස්ත්‍රය දත් ත්‍රිවෙද පාරප්‍රාප්ත සෙල බ්‍රාහ්මණතෙම ආපණයෙහි වසයි. ගෝලයන් තුන්සීයකට මන්ත්‍ර කියවයි.

ඒ අවස්ථාවෙහි කෙණිය ජටිලතෙමේ සෙල බ්‍රාහ්මණයා කෙරෙහි අතිශයින් සතුටුවූයේවේ. ඉක්බිති සෙල බ්‍රාහ්මණතෙම මානවකයන් තුන්සියයක් පිරිවරකොට ඇත්තේ කෙණ්ඩාවලට සුව සලසන අටියෙන් ඇවිදින්නේ හැසිරෙන්නේ කෙණිය ජටිලයාගේ ආශ්‍රමය යම්තැනෙක්හිද එහි පැමිණියේය. (මෙහි 6 (ii) යෙදිය යුතුයි.) කෙණිය ආශ්‍රමික ජටිලයන් සෙල බ්‍රාහ්මණතෙම දුටුවේය. දැක කෙණිය ජටිලයාට, “කිමෙක්ද, භවත් කෙණියගේ ආවාහයක් හෝ විවාහයක් හෝ වන්නේද, මහායාගයක් වත් ඇත්තේද, හෙට භටසෙනාව ඇති මගධරටට අධිපති සෙනිය බිම්බිසාර රජුට හෝ බතකට ආරාධනා කරණ ලද්දේදැයි” ඇසීය. “භවත් සෙලය, මට (මෙහි මේ සූත්‍රයේ 4 (ii) සිට ඡෙදය යෙදිය යුතුයි.) එතකුදු වුවත් මට මහායාගයක් එළඹ සිටියේවේ. ශාක්‍ය කුලයෙන් පැවිදිවූ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ අංගුත්තරාපයෙහි ඇවිදිනසේක් එක්දහස්දෙසිය පණසක් පමණවූ භික්ෂු සංඝයා සමග ආපනගමට වැඩිසේක. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ (මෙහි මේ සූත්‍රයේ 2 (ii) ඡෙදයේ සිට “යහපත්ය” යන්න දක්වා යෙදිය යුතුයි) මා විසින් හෙට භික්ෂු සංඝයා සහිත උන්වහන්සේට දනට ආරාධනා කරණ ලද්දෙමි.

“පින්වත් කෙණිය බුද්ධයයි කීයෙහිද” “පින්වත්සෙල බුද්ධයයි කියමි.” “පින්වත් කෙණිය, බුද්ධයයි කීයෙහිද?” “පින්වත්සෙල, බුද්ධයයි කීවෙමි.” ඉක්බිති සෙලබ්‍රාහ්මණයාට බුද්ධ යන මේ ශබ්දය පවා ලොකයෙහි දුර්ලභය. අපගේ “මන්ත්‍රවල දෙතිස් මහාපුරුෂ ලක්ෂණ ආවාහුය. එයින් යුත් මහා පුරුෂයාට රහත්නොවී ඉදින් ගිහිගෙයි වෙසේද, ධාර්මිකවූ දැහැමින් රජය ලැබ කරණ දිනනලද, ජනපද ඇති ස්ථිර භාවයට පැමිණි සත්රුවනින් යුත් සක්විති රජෙක්වේ. ඔහුට චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රීරත්නය, ගෘහපතිරත්නය, පරිනායකරත්නය යන මේ රත්න හතවෙත්, ඔහුට දහසකට වඩා සූරවූ දිව්‍ය ශරීර සමානවූ විරුද්ධ සෙනා මර්ධනය කරණ පුත්‍රයෝ වෙත්. හෙතෙම සාගරය අවසන්කොට ඇති මේ පෘථිවිය දඬුවමින් තොරව, ආයුධයෙන් තොරව ධර්මයෙන් යටත් කොට ගෙන වසයි.

ඉදින් ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදිවූයේද ලොකයෙහි කෙලෙස් සෙවෙනි නැති අර්හත් සම්‍යක් සම්බුද්ධවේ. භවත් කෙණිය, දැන් කොහි වනාහි ඒ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භවත් ගෞතමයන් වහන්සේ වාසය කරයිද?” මෙසේ කී කල්හි දකුණත ගෙන සෙල බ්‍රාහ්මණයාට ‘පින්වත් සෙලය මේ නිල්වනරොද යම් තැනක බබලයිද එතනයයි” කීයේය.

ඉක්බිති සෙල බ්‍රාහ්මණතෙම ඒ තරුණයන්ට කථාකෙළේය. පින්වත්නි, පියෙන් පිය නඟා නිශ්ශබ්දව එත්වා. එකවර සිංහයන් මෙන් ඒ බුදුවරු විවේකයට කැමති බැවින් ලංවීමට පහසු නොවූ පුද්ගලයෝය. මම යම් වේලාවක ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමග කථා කරන්නෙම්ද පින්වත්හු අතුරුකථා නොහෙළව්, පින්වත්හු මගේ කථාවේ අවසානය දක්වා නවතිත්වායි” කීයේය.

ඉක්බිති සෙල බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතුවූ සිහිකටයුතුවූ කථාවකොට නිමවා එකත් පසෙක සිටියේය. එකත් පසෙකසිටි සෙල බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයෙහි දෙතිස් මහ පුරුෂ ලකුණු සලකා බැලුයේය. කොෂය ඇතුලේ සැඟවුනු පුරුෂනිමිත්ත හා පළල් දිවයන ලක්ෂණ දෙකක් හැර ඉතිරි ලක්ෂණ සෙල බ්‍රාහ්මණතෙම දුටුයේය. ඒ දෙකෙහි සැකකරයි, සොයා දුක්වෙයි. නිෂ්ටාවට නොයයි. නොපහදියි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මේ සිත පහළ විය. ‘මේ සෙල බ්‍රාහ්මණතෙමේ මාගේ මහා පුරුෂ ලක්ෂණ දෙකක් හැර ඉතිරි ලක්ෂණ දුටුයේය. කොෂයෙහි සැඟවී ඇති පුරුෂ නිමිත්තෙහිත් පළල් දිවෙහිත් සැකකරයි. සොයා දුක්වෙයි, නිෂ්ටාවට නොයයි නොපහදියි ‘ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ කොෂය ඇතුළෙහි ඇති පුරුෂ නිමිත්ත යම්සේ දක්නේද එබඳු ඍද්ධියක් ප්‍රහාර්යයක් පෑසේක. සේල බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ කොශයෙන් සැඟවී ඇති පුරුෂ නිමිත්ත දැක්කේය. ඊටපසු භාග්‍යවතුන් වහන්සේ දිව පිටකර දෙකන් සිදුරු ස්පර්ශ කර වූසේක. දෙනාසිකා සිදුරු පිරිමැදිසේක. සම්පූර්ණ නළල දිවෙන් වැසූසේක.

ඉක්බිති සෙල බ්‍රාහ්මණයාට ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සම්පූර්ණ අඩුනැති දෙතිස් මහා පුරුෂ ලකුණින් යුක්තය, උන්වහන්සේ බුදුවීද, නොවීදැයි නොදනිමි. යම් කෙනෙක් බුදුවීනම් උන්වහන්සේලා තමන්ගේ ගුණ කියන කල්හි තමන් ප්‍රකටකෙරෙත් යන මේ කාරණය ආචාර්යවූ ප්‍රාචාර්යවූ වෘද්ධවූ, මහළුවූ, බමුණන්ගේ කීම මා විසින් අසනලදී. ශ්‍රමණගෞතමයන් ඉදිරියෙහි සුදුසු ගාථාවලින් උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙම් නම් යෙහෙකැයි සිතීය. ඉක්බිති සෙල බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි යොග්‍ය ගාථාවන්ගෙන් ස්තුති කළේය.

“සම්පූර්ණ සිරුරක් ඇති, යහපත්ව උපන් වීර්යවත්වූ සිත සතුටුකරන දැකුම් ඇති, භාග්‍යවතුන් වහන්සේ රන්වන් සිරුරක් ඇත්තේය. සුදු දත් ඇත්තේය.

“යහපත්ව උපන් මනුෂ්‍යයාගේ යම් ලක්ෂණ කෙනෙක් වෙත්ද, ඒ සියලු මහා පුරුෂ ලක්ෂණයෝ ඔබ වහන්සේගේ ශරීරයෙහි ඇත්තාහ.

“පැහැදුනු ඇස ඇත්තේය. යහපත් මුව මඬලක් ඇත්තේය. උස මහතය. ඍජුය ආනුභාසම්පන්නය, ශ්‍රමණ පිරිස මැද සූර්යාමෙන් බබළයි.

“ශ්‍රමණයන්වහන්ස, යහපත් දැකුම් ඇති රන්කඳකට බඳු සිවියක් ඇති, මෙවැනි උතුම් වර්ණයෙන් යුත් ඔබ වහන්සේට පැවිදිකමින් කවර ප්‍රයෝජනද?

“රථයන්ට වෘෂභයකු බඳු ඔබවහන්සේ ජම්බුද්වීපයට අධිපති සතර මහා දිවයින දිනනසුළු සක්විති රජවන්නට සුදුසුය.

“ගෞතමයන් වහන්ස, මහත් භොග ඇති රජවරු ඔබට අනුකූල වෙත්. රජුන් විසින් පුදන මනුෂ්‍යයන් විසින් පුදන අධිපතියෙක්ව රජ කරනු මැනව.”

“භාග්‍යවතුන් වහන්සේ සෙලය ශ්‍රෙෂ්ඨ ධර්මරාජවූ මම රජෙක් වෙමි. යම් චක්‍රයක් කිසිවෙකු විසින් නොපැවැත්විය හැකිද ධර්මයෙන් ඒ ආඥාව පවත්වමි.”

“සෙලතෙම නිරුත්තරවූ ධර්මරාජතෙමේ සම්බුද්ධ යයි අඳුන්වන්නේය, ධර්මයෙන් ආඥාව පවත්වන්නෙමියි කියන්නේය. මෙය ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කරණ සේක්වායි” කීයේය.

“පින්වත්හු විසින් පවත්වනලද ධර්ම චක්‍රයට අනුව ඔබවහන්සේ අනුගමනය කරණ සේනාපතියාවූ ශ්‍රාවකයා කවරේද?”

“සෙලය නිරුත්තරවූ යම් ධර්ම චක්‍රයක් ඇත්තේද මා විසින් පවත්වන ලද චක්‍රය තථාගතයන් වහන්සේගේ අනුජාතවූ සැරියුත් තෙරුන් පවත්වයි.

“දතයුත්ත දන්නාලදී. වැඩියුත්ත වඩනලදී. දුරුකළ යුත්ත දුරුකරණලදී. බ්‍රාහ්මණය එහෙයින් මම බුද්ධයෙමි.

“බමුණ, මා කෙරෙහි සැකය දුරුකරව, ස්ථිරසේ සිත පිහිටුවාගනුව, නිතර බුදුවරුන්ගේ දර්ශනය දුර්ලභවේ.

“බ්‍රාහ්මණය, ලෝකයෙහි යම් කෙනෙකුන්ගේ නිතර පහළවීම දුර්ලභද, බ්‍රාහ්මණය, ඒ මම රාගාදී කෙලෙස් කපන්නෙක් වූයෙම් සම්බුද්ධවෙමි.

“බ්‍රහ්මයෙකු වැනි කිසිවෙකුට සමාන නොවූ මර සෙනඟ පරදවන (මම) බිය නැත්තේ සියලු අමිත්‍රයන් වසඟ කොට සතුටුවෙමි.”

“පසැස් ඇති කෙලෙසුන් කපාහරින මහාවීරතෙම සිංහයා මෙන් වනයෙහි නාදකරයි. උන්වහන්සේ යම්සේ දෙශනා කෙරෙද්ද, එයට කන් නමව්.

“බ්‍රහ්මයා බඳු උපමා ඇති මරසෙනඟ පරදවන බුදුන් දැක චණ්ඩලාදී නීච ජාති ඇත්තාවූද, කවරෙක් නොපහදින්නේද,

“යමෙක් මා කැමැත්තේද නවතීවා යමෙක් නොකැමැත්තේද යේවා මම ශ්‍රෙෂ්ඨ ප්‍රාඥයන් වහන්සේගේ සමීපයෙහි පැවිදිවන්නෙමි.

“පින්වත්හට ඉදින් මේ සම්‍යක් සම්බුද්ධයන්වහන්සේගේ ශාසනය කැමතිවේද, අපිද ශ්‍රෙෂ්ඨ ඤාණවන්තයා සමීපයෙහි පැවිදිවන්නෙමු.

“මේ තුන්සියයක් බ්‍රාහ්මණයෝ ඇඳිලිබැන්දාහු බඹසර ඉල්ලති. භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ සමීපයෙහි බ්‍රහ්මචර්යයෙහි හැසිරෙමු.”

භාග්‍යවතුන් වහන්සේ, සේලය. බ්‍රහ්මචර්යය මනාකොට ප්‍රකාශකරන ලද්දේය. ඇස ඉදිරිපිට විපාක ඇත්තේය. කල්නොයවා දෙන විපාක ඇත්තේය. යම්තැනක අප්‍රමාදව හික්මෙන්නහුට ප්‍රව්‍රජ්‍යාව හිස එකක් නොවේ.”

පිරිස් සහිත සෙල බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබූයේය. උපසම්පදාව ලැබූයේය. ඉක්බිති කෙණිය ජටිලතෙම ඒ රාත්‍රියට පසු ස්වකීය ආශ්‍රමයෙහි ප්‍රණීතවූ කඩා කෑයුතු අනුභවකළයුතු දෙය පිළියෙලකොට “භවත් ගෞතමයන් වහන්ස, කල්වන්නේය. දානය සූදානම් යයි” සැලකළේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පෙරවා පාත්‍ර සිවුරු ගෙන කෙණිය ජටිලගේ ආශ්‍රමය යම්තැනෙක්හිද එහි වැඩියහ. ගොස් පනවනලද අස්නෙහි භික්ෂුසංඝයා සමග වැඩහුන්සේක. ඉක්බිති කෙණිය ජටිලතෙමේ බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයා ප්‍රණීතවූ කෑයුතු අනුභව කළයුතු දෙයින් සියතින්ම වැළඳවූයේය. පැවරූයේය. ඉක්බිති කෙණිය ජටිලතෙමෙ වැළඳූ පාත්‍රයෙන් අහකට ගත් අත් ඇති බුදුන් ළඟට පැමිණ එක්තරා පහත් අස්නක් ගෙන එක්තපසෙක සිටියේය. එකත්පසෙක සිටි කෙණිය ජටිලයාට භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාවන්ගෙන් අනුමෝදනා කළසේක.

“යාගයන්ට ගිනි දෙවියා පිදීම ප්‍රධානය. ඡන්දස්වලට සාවිත්‍රිය ප්‍රධානය. මිනිසුන්ට රජතෙමේ ප්‍රධානය. නදීන්ට සාගරය ප්‍රධානය.

“නැකැත් තරුවලට චන්ද්‍රයා ශ්‍රෙෂ්ඨය. තැවෙන දේවලින් සූර්යයා ප්‍රධානය. පින් කැමැත්තෙන් දන් දෙන්නන්ට ඒකාන්තයෙන් සංඝයා ප්‍රධානයි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කෙණිය ජටිලයා මේ ගාථාවලින් සතුටුකොට අස්නෙන් නැඟිට වැඩිසේක. ඉක්බිති ආයුෂ්මත් සෙලතෙමේ පිරිස සහිතව හුදකලාවූයේ බැහැරවූයේ අප්‍රමාදවූයේ කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ, නිවන වෙත යැවූ ජීවිත ඇතිව වාසයකරන්නේ නොබෝ කලකින් කුලපුත්‍රයෝ යමක් සඳහා ගිහිගෙන් නික්ම අනගාරියයයි කියනලද ශාසනයෙහි පැවිදිවෙත්ද, උතුම්වූ බ්‍රහ්මචර්යය අවසන්කොට ඇති එය මෙලොවතෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට වාසය කළේය. උත්පත්තිය ක්ෂයවිය. බඹසරවැස නිමවනලදී. කටයුත්ත කරණලදී. මින්මත්තට අනිකක් නැතැයි දනී දැනගත්තේය. පිරිස සහිත සෙල බ්‍රාහ්මණතෙමේ රහතුන් අතරෙහි කෙනෙක්විය. ඉක්බිති පිරිස් සහිත ආයුෂ්මත් සෙල භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ සිවුර ඒකාංශකොට භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි ඇඳිලිබැඳ භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීයේය.

“ඇස් ඇති භාග්‍යවතුන් වහන්ස, මින් අටවෙනි දිනයෙහි ඔබවහන්සේගේ පිහිට ලබා සප්ත රත්නයක් ඇති ශාසනයෙහි හික්මවූයේද,

“නුඹවහන්සේ බුද්ධය. නුඹවහන්සේ ශාස්තෘය. නුඹවහන්සේ මාරයන් මැඩපවත්වන මුනිය, නුඹවහන්සේ අනුශය සහිත කෙලෙස් නසා එතරවූයේ වාද පිරිසද එතර කෙළෙහිය.

“ඔබවහන්සේ විසින් කෙලෙස් ඉක්මවනලදී. නුඹවහන්සේ විසින් ආශ්‍රවයෝ පලන ලදහ. අත්හළ බිය හා භයානක අරමුණු ඇති තෘෂ්ණාදීන් නොගන්නාවූ සිංහයෙක් බඳු වූයෙහිය.

“තුන් සියයක් පමණ මේ භික්ෂූහු ඇඳිලි බැඳ සිටිත් වීරයන් වහන්ස, සිරිපා දික්කළ මැනව කෙලෙස් නොගන්නා නාගයෝ බුදුන් වඳිත්වා.”

සෙලසුත්තං සත්තමං නිට්ඨිතං.