ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

4. අෂ්ටක වර්ගය

12. චූලවියූහ සූත්‍රය

“තම තමාගේ ඇදහීමෙහි සිටින්නාහු එය දැඩිසේ ගෙන දතුයෙම්හයි වෙන් වෙන්ව කියත්. යමෙක්තෙම මෙසේ දනිත්නම් හෙතෙම ධර්මය දත්තේද, යමෙක් තෙම මෙය ගරහන්නේ හෙතෙම බාලයෙක් වන්නේය.

“මෙසේත් (ස්වලබ්ධිය) දැඩිකොටගෙන විරුද්ධවාද කෙරෙත්. වාදීවූ අන්‍යයා බාලයෙකැයිද, අදක්ෂයෙකැයිද කියත්. මේ මහණ බමුණන්ගේ වාද අතුරෙන් කවර වාදයක් සත්‍ය වන්නේද, මේ හැම වාදීහුම දක්ෂ වාදකාරයෝ වෙත්.

“ඉදින් අන්‍යයාගේ ධර්මය නොදන්නා බාලයා නුවණින් අඩු නිහීනයෙක් වන්නේය. සියලුම බාලයෝ ඉතා ලාමක නුවණ ඇත්තෝය. තම තමාගේ ඇදහීමෙහි ගැලී වසන මේ සියල්ලෝම බාලයෝය.

“ඉදින් ස්වකීය ලබ්ධියෙන් අතිශයින් පිරිසිදුවූවාහු වෙත්ද, පිරිසිදු නුවණ ඇත්තෝ වෙද්ද, දක්ෂයෝ වෙත්ද, බුද්ධිමත්හු වෙද්ද, ඒ මහණ බමුණන් අතුරෙහි කිසිවෙකුත් පිරිහුණු ප්‍රඥා ඇත්තේ නොවේද, ඔවුන්ගේ දෘෂ්ටිතොමෝත් එසේ සමාප්ත වන්නීය.

“බාලතෙම දෙදෙනෙක්ව ඔවුනොවුන් යමක් කියත්ද, මම මෙය සත්‍යයයි නොකියමි. තම තමා පිළිබඳ දැකීම සත්‍යකළාහුමය. එහෙයින්ම අන්‍යයා බාලයයිද කියත්.

“ඇතැම් කෙනෙක් යමක් ඇත්තයයි කියත්ද, ඒ අන්හු හිස්වූ බොරුවකැයි කියත්. මෙසේත් දැඩිවගෙන විවාද කෙරෙත්ද, කවර කරුණකින් ශ්‍රමණවරු එක් සත්‍යයක් නොකියත්ද,

“සත්‍යයතෙම එකක්ම වන්නේය. දෙවන සත්‍යයක් නැත. යම් සත්‍යයක් දනිමින් සත්වතෙම විවාද නොකරන්නේය. ඒ මහණ බමුණෝ නොයෙක් සත්‍යයන් තුමූම කියත්. ඒකරුණෙන් මහණ බමුණෝ එක් සත්‍යයක් නොකියත්.

“විරුද්ධවාදීවූ දක්ෂවාද ඇතියෝ නොයෙක් සත්‍යයන් කවර හෙයින් කියත්ද, නානාප්‍රකාරවූ බොහෝවූ සත්‍යයෝ අසනලද්දෝද, නොහොත් ඔහු තර්කමාත්‍රය අනුවයෙද්ද.

“(සත්ව) ලෝකයෙහි සංඥා මාත්‍රයෙන් නිත්‍යයයි ගන්නාලද ග්‍රහණයන් තබා නානාවිධවූ බොහෝ සත්‍යයෝ නැත්මැයි. තර්කයද දෘෂ්ටීන්හිලා කල්පනාකොට සත්‍යය බොරුයයි ධර්ම දෙකක් කියත්.

“දක්නාලද්දද, අසනලද්දද, සිතින් දන්නාලද්දද සිල් හා වත් පැවතුම්ද යන මොවුන්ද ඇසුරුකොට පහත් ලෙස දක්නේ, දෘෂ්ටි විනිශ්චයෙහි සිත හටගත් සතුටු ඇති පාපතෙම අන්‍යයා බාලයෙකැයිද කියන්නේය.

“යම් කරුණකින් අනුන් හීනයෙකැයි දක්නේද ඒ කරුණෙන්ම තමා පණ්ඩිතයෙකැයි කියන්නේය. තෙමේම පණ්ඩිතයයි කියන්නාවූ හෙතෙම තමහට ගරහන්නේය. එයම කියන්නේය.

“ඒ පුද්ගලතෙම දෙසැට දෘෂ්ටියෙන් පිරුණේ (දෘෂ්ටි) මානයෙන් මත්වූයේ, පිරීමේ මානය ඇත්තේ තෙමේම තම සිතින් රජවූයේවේ. ඒ දෘෂ්ටිය ඔහුට එපරිද්දෙන්ම සම්පූර්ණවූයේ වේ.

“ඉදින් යමෙක්තෙම අනුන්ගේ වචනයෙන්ම නිහීනයෙක් වේනම් තමාත් ඒ හා සමගම ලාමක ප්‍රඥා ඇත්තෙක් වන්නේයි. තවද මේතෙමේම වේදයේ (සතර මාර්ගයන්ගේ) පරතෙර පැමිණියේ නුවණැත්තේවේ. ශ්‍රමණයන් කෙරෙහි කිසි බාලයෙක් නැත්තේය.

“යම්කෙනෙක් මෙයින් අන්‍ය දෘෂ්ටියක් කියත්ද, අසම්පූර්ණවූ ඔව්හු පිරිසිදුවීමේ මාර්ගය වරදවා ගත්තාහුවෙති. තවද මෙසේ තීර්ථකයෝ බොහෝ දෘෂ්ටීන්ගේ වශයෙන් අශුද්ධිය කියත්ද, යම්හෙයකින් ඔව්හු ස්වකීය දෘෂ්ටි රාගයෙන් ඇලුණාහුද එහෙයිනි,

“මෙසේ බෙහෙවින් බැසගත් ස්වකීය මාර්ගයෙහි දැඩිව ප්‍රකාශකරන තීර්ථකයෝ මෙහිම ශුද්ධියවේයයි කියත්. අන්‍ය ධර්මයන්හි වෙසෙත්. ශුද්ධිය නොකියත්.

“තවද ස්වකීය (දෘෂ්ටි) මාර්ගයෙහිම දැඩිකොට කියන්නේ මෙහි බාලයායයි අන්‍යවූ කවරක්හු දක්නේද? අනුන් අශුද්ධි ධර්මය ඇති බාලයන්කොට කියන්නාවූ හෙතෙමේම කොලාහල ඇතිකරවන්නේය.

“ඒ පුද්ගලතෙම තීන්දු කිරීමෙහි සිට තමාම ප්‍රමාණය කොට මතුමත්තෙහි ලෝකයා කෙරෙහි කලහයට පැමිණෙන්නේය. නුවණැති සත්වතෙම සියලු තීන්දු (දෙසැට දෘෂ්ටීන්) හැරපියා ලෝකයා තුළ කළහ නොකරන්නේය.”

චූළබ්‍යූහසුත්තං ද්වාදසමං නිට්ඨිතං.