ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

4. අෂ්ටක වර්ගය

13. මහා ව්‍යුහ සූත්‍රය

“තමන් තමන්ගේ ලබ්ධිය දැඩිව ගෙන වසන්නාවූ යම්කිසි මේ තීර්ථක කෙනෙක් මෙයම සත්‍යයයි හිස් විවාද කෙරෙත්ද, ඔහු හැමදෙනම නින්දාව තමන් වෙතට නැවත නැවත එවත්. නොහොත් එහිදී පැසසුමද ලබත්.

“මෙය (ප්‍රශංසා සංඛ්‍යාත වාදඵලය) ස්වල්පය. සංසිඳීම පිණිස සමර්ථ නොවන්නේය විවාදයාගේ විපාක දෙකක් කියමි. විවාදය නැති තැනවූ නිවන නිර්භය වශයෙන් දක්නේ මෙසේ දැක විවාද නොකරන්නේය. දැක කලහ නොකරන්නේය.

“පුහුදුන්ගෙන් පහළවූ යම්කිසි සම්මත කෙනෙක් ඇත්ද, මේ සියලු දෘෂ්ටීන්ට පණ්ඩිතතෙම නොපැමිණෙන්නේය. උපධි නම්වූ තෘෂ්ණා දෘෂ්ටි රහිතවූ හෙතෙම දෘෂ්ටිශුද්ධියෙහිද ශ්‍රැතශුද්ධියෙහිද, ප්‍රේමය නොකරන්නේ රූපාදී එකද ධර්මයකටවත් කිම පැමිණෙන්නේද,

“සීලයම උතුම්කොට ගන්නෝ (හික්මීම්) සංවරය මාත්‍රයෙන් ශුද්ධිය කියත්. වත් සමාදන්ව පැමිණ සිටියාවූ දක්ෂ වාද ඇත්තෝ මේ සත්වයාගේ ශුද්ධිය මෙහිම හික්මෙත් නම්හයි භවයට බැසගත්තාහු වෙත්.

“ඉදින් ශීලයෙන් හා ව්‍රතයෙන් වෙන්වූයෙක්වේද, හෙතෙම ඒ ශීල ව්‍රතාදී කර්මය වරදවාගෙන කම්පාවන්නේය. වැලපෙන්නේය. මෙහි ශුද්ධිය පතන්නේත් වෙයි. ගෙන් නික්ම නොරට යන හීනවූ ගැල් වෙළෙන්දෙකු මෙනි.

“ආර්යශ්‍රාවකතෙම සියලු ශීලව්‍රතය අත්හැර තවද වරදවූ වරද රහිතවූද කර්මයන් හැර මේ ශුද්ධියද අශුද්ධියද මෙසේ නොපතන්නේ දෘෂ්ටිය නොගෙන නොඇලී හැසිරෙන්නේය.

“පිළිකුල් කරණලද්ද හෝ නැතහොත් දක්නාලද්ද අසනලද්ද, සිතනලද්ද හෝ ඇසුරුකොටගෙන මත්තෙහි හැසිරෙන්නෝව නැවත නැවත උත්පත්තියෙහි නොපහකළ ආශා ඇත්තෝව ශුද්ධිය කියන්නට වීර්ය කරත්.

“පතන්නාහට වනාහි නැවත නැවත වෙති. තවද අදහස්කළ වස්තූන් නිමිතිකොට ගෙන අතිශයින් සැලෙන බවද වන්නේය. මේ ආත්මයෙහි යම් ක්ෂීණාශ්‍රවයෙක්හට චුතිය හා උත්පත්තිය නැද්ද හෙතෙම කිනම් රාගාදී ධර්මයකින් සැලෙන්නේද, කොතැන්හි හෝ පුරසාරම් දොඩාද?

“ඇතැම් මහණ බමුණු කෙනෙක් යම් ධර්මයක් උතුම්යයි කියද්ද, අන්හු ඒ ධර්මයම ලාමකයයි කියත්. මොවුන්ගේ සත්‍යවූ වාදය කවරෙක්ද, මේ සියල්ලෝම දක්ෂයෝය යන වාද ඇත්තෝය.

“තම තමන්ගේ ධර්මය සම්පූර්ණ යයි කියත්ද අනුන්ගේ ධර්මය හීනයයි අනෙක් අය කියත්ද මෙසේ විරුද්ධව සිට විවාද කරත්. තම තමන්ගේ සම්මතය සැබවයි කියත්

“හීනයා අන්‍යයාට අවමන් කිරීම කරණකොටගෙන කාරණයන්හි කිසිම විශෙෂ ඥානයෙක් නොවන්නේය. බොහෝ අය අනුන්ගේ ධර්මය පහත්කොට කියත්. ස්වකීය ධර්මයෙහි දැඩිවූ වාද ඇත්තෝම වෙත්.

“ඒ තීර්ථකයෝම ස්වකීය ධර්මයට යම්සේ ප්‍රශංසා කරත්ද, ස්වකීය ශාස්තෘවරාදීන්ට ගරුබුහුමන් කිරීමත් එසේම පවත්නේය. සියලු වාදයෝ සත්‍යයෝ වන්නාහුය. ඔවුන්ගේ ශුද්ධිය තමන් තමන් තුළ හෙයිනි.

“බ්‍රාහ්මණයාට අනුන් හික්මවනු ලැබියයුතු බවක් නැත. දෙසැට මිථ්‍යාදෘෂ්ටියෙහි නිශ්චයකොට දැඩිව ගන්නා ලද්දක් නැත. එකරුණෙන් විවාද කථාවන් ඉක්මවූ හෙතෙම අනුන්ගේ ධර්ය ශ්‍රෙෂ්ඨ වශයෙන් නොදක්නේය.

“ඇතැම් කෙනෙක් එපරිද්දෙන්ම මේ කාරණය දනිමි, දකිමියි ස්වකීය ලබ්ධියෙන් සංසාර විමුක්තිය අදහත්. ඉදින් දක්නේද තමාගේ ඒ දර්ශනයෙන් කිමෙක් නම් කරණ ලද්දේද, (ආර්ය මාර්ගය) ඉක්මවා අන්‍යයෝ ශුද්ධිය නොකියත්.

“සත්වතෙම පරසිත් දන්නා නුවණින් බලන්නේ නාමය, රූපය දක්නේයි දැක ඒ නාම රූපයන්ම නිත්‍ය සුභ සුඛ වශයෙන් දන්නේත්වේ. ඒකාන්තයෙන් බොහෝකොට හෝ මදකොට හෝ දකීවා. දක්ෂවූ බුද්ධාදී ආර්යයෝ එයින් (නාමරූප දර්ශනයෙන්) සංසාර ශුද්ධිය නොකියත්.

“මෙයම ඇත්තයයි කියන්නා සුවසේ හික්ම විය හැක්කේ නොවේමය. අදහස් කළ දෘෂ්ටිය පෙරටු කොට හැසිරෙන්නේද, යම් ශාස්තෘවරයෙක් ඇසුරුකොට සිටින්නේද එහි යහපත්කම කියන්නේදැයි කීය. ලබ්ධියෙහිම ශුද්ධිය කියන්නේද, හෙතෙම එහි එසේම බලන්නේය.

“(ක්ෂීණාශ්‍රව) බ්‍රාහ්මණතෙම නුවණින් දැන (තෘෂ්ණා දෘෂ්ටි) සිතීමකට නොපැමිණෙන්නේය. දෙසැට දෘෂ්ටියෙහි හැසිරෙන්නෙක්ද නොවෙයි. තවද (සමා පත්ති) ඤාණාදියෙන් නොකරණ ලද (තෘෂ්ණා දෘෂ්ටි) බැඳුම් ඇති හෙතෙම පෘථග්ජනයන් කෙරෙහි හටගත් යම් මතයන් දැන බැහැර ලන්නේය. අන්‍යයෝ දැඩිකොට ගනිත්.

“මේ සත්වලොකයෙහි ක්ෂීණාශ්‍රව මුනිතෙමේ ගැට ලිහා හැර විවාද කරණ අය අතරෙහි භෙදව නොහැසිරෙන්නේය. නොහික්මුණු පෘථග්ජනයන් අතරෙහි හික්මුණේ අංග සයක් ඇති උපෙක්ෂාවෙන් යුක්තවූයේ වේ. හෙතෙම වැරදිලෙස ගන්නෙක් නොවෙයි. අන්‍යයෝ දැඩිව ගනිත්.

“හෙතෙම පළමු දෙය හැර දැනුදු එකාන්තයෙන් නො කරන්නේ ඡන්දයෙන් අගතියට නොයන්නේ තවද ස්වකීය ඇදහිල්ලම නොකියන ඒ ක්ෂීණාශ්‍රවතෙම දෙසැට දෘෂ්ටියෙන් විශෙෂයෙන් මිදුණේය. තමහට නොගරහන ධීරතෙම ලොකයෙහි නොඇලෙන්නේය.

“ඒ රහත් මහණතෙම දක්නා ලද, අසනලද, සිතන ලද, යම්කිසි ඒ සියලු ධර්මයන්හි පහවූ කාමාදී සෙනා ඇත්තේ වේ. බහා තබනලද (ස්ඛන්ධාදී) බර ඇත්තාවූ වෙහෙසින් මිදුණු ඒ රහත් මහණතෙම තෘෂ්ණාදෘෂ්ටි වශයෙන් නොසිතන්නේය. ඇලීමෙහි නොයෙදුනේ පැතීමක් නැත්තේ වේ යයි බුදුහු වදාළහ.”

මහාබ්‍යූහසුත්තං තෙරසමං නිට්ඨිතං.