ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

4. අෂ්ටක වර්ගය

15. අත්තදණ්ඩ සූත්‍රය

“බිය තමාගේ දුශ්චරිත හෙතුවෙන් උපන්නේය. පීඩාවට පැමිණියාවූ ජනයාම බලව්. මවිසින් යම්සේ සංවෙගයට පැමිණෙන ලද්දේද එසේ තොපට සංවෙගයද පවසන්නෙමි.

“දියත්තෙක්හි මසුන් මෙන් සැලෙන සත්ව සමූහයා දැකත් ඔවුනොවුන් හා සමග ප්‍රතිවිරුද්ධවූ නානා සත්වයන් දැකත් මා කරා බිය පැමිණියේය.

“ලොකයතෙම හාත්පසින් අසාර වන්නේය. සියලු දික්හිවූ සංස්කාරයෝ සැලෙන ලද්දෝවෙත්. තමහට පිහිටක් බලාපොරොත්තු වන්නාවූ මම ජරාදියෙන් නොවැසුන කිසියම් තැනක් නොදැක්කෙමි.

“ඒකාන්තයෙන් අවසාන ජරා ව්‍යාධි මරණාදියෙහිම වැදුන සිත් ඇති සත්වයන් දැකීමට නොඇල්මක් වූයේය. තවද මේ සත්වයන් කෙරෙහි නොදැක්ක හැකි සිත ඇසුරුකළ රාගාදී හුල දැක්කෙමි.

“යම්බඳු රාගාදී හුලකින් විදුනු තැනැත්තා සියලු දිගට දුවන්නේද ඒ රාගාදීහුලම උපුටාපියා නොදුවන්නේය. නොකිඳෙන්නේය.

“සත්වලොකයෙහි යම් පස්කම් ගුණකෙනෙක් ඇද්ද ඒ නිමිතිකොටගෙන ශිල්පද කියනු ලැබෙත්. ඒ පස්කම් ගුණයන් කෙරෙහි යුක්ත ප්‍රයුක්තවූයේ නොවන්නේය වස්තුකාම ක්ලෙශ කාමයන් නුවණින් විනිවිද දැන තමාගේ රාගාදීන්ගේ නිවීමට හික්මෙන්නේය.

“මුනිතෙම සත්‍යයෙන් යුක්තවූයේ වන්නේය. ත්‍රිවිධ නොහික්වීම්වලින් යුක්ත නොවන්නේය. මායාවෙන් යුක්ත නොවන්නේය. කේළාම් නොකියන්නේය. ක්‍රොධ නැති වන්නේය, ලොභ අකුශලයද මාර්ග සත්‍යයද ඉක්මවන්නේය.

“නිවන් කෙරෙහි නැමුණු සිත් ඇති සත්වතෙම නිදිබරගතියද, අලසකමද සිතේ මැලිකම මැඩපවත්වන්නේය, සිහිනැතිව නොවසන්නේය, මාන්නය අධික බැව්හි නොයෙදෙන්නේය.

“සාහසික හැසිරීමෙන් වෙන්ව හැසිරෙන්නේය. බොරුවෙන් නොයන්නේය. අටවිසිරූපය කෙරෙහි ඇල්මක් නොකරන්නේය, මානය පිරිසිඳ දන්නේය.

“ඉක්මගිය රූපවෙදනාදියට සතුටු නොවන්නේය, පවත්නා රූපවෙදනාදිය කෙරෙහි කැමැත්තක් නොකරන්නේය. නැසෙන ඇස් ආදියට ශොක නොකරන්නේය, තෘෂ්ණාව ආශ්‍රය නොකරන්නේය.

“මේ තෘෂ්ණාව මගේයයි කියමි. සැඩවතුරයයිද කියමි. ප්‍රතිසන්ධියෙහි පටන් දුවන අර්ථයෙන් ආජවයයිද කියමි. මගේ යයි කියන බැවින් ජල්පනයයි කියමි. ආලම්බනයයි කියමි. කම්පාකිරීමකැයි කියමි. කාම නමැති මඩ දුකසේ ඉක්ම වියයුත්තේයයි කියමි.

“සත්‍යයෙන් බැහැර නොයන්නාවූ ඒ ක්ෂීණාශ්‍රව මුනිතෙම නිර්වාණ නමැති ගොඩබිම්හි සිටින්නේය. හෙතෙම ඒකාන්තයෙන් ද්වාදසායතනය බැහැරකොට ශාන්තවූයේ යයි කියනු ලැබේ.

“හෙතෙම ඒකාන්තයෙන් සංස්කාර ධර්මය දැන තෘෂ්ණාදෘෂ්ටි නිශ්‍රයරහිතවූ පණ්ඩිතයෙකු වූයේ චතුර්මාර්ගඥානයට පැමිණියෙකි. හෙතෙම ලොකයෙහි මැනවින් ඉරියව් පවත්වන්නෙක. මේ හැම ලෙව්හි කිසිවකුහටත් ඇලුම් නොකරන්නේය.

“මේ සත්වලොකයෙහි යමෙක්තෙම වස්තුකාම ක්ලෙශ කාමයන් හා ඉක්මවීමට දුෂ්කර රාගාදී ඇලුම්හත ඉක්මවීද සිඳිනලද තෘෂ්ණා ඇති රාගාදී බැමි රහිත ඒ රහත් මහණතෙම ශොක නොකරන්නේය. පසුතැවිලි නොවන්නේය.

“ඉදින් රහත්වීමට කැමැත්තේනම් පෙර කර්ම නිසා උපන් සැඟවී ඇති කෙලෙස්ද ඉක්මගිය කර්මද යන යමක්වේද, එය වියලව, අනාගත සංස්කාර නිසා උපදනා රාගාදී කෙළෙස් තට නොවේවා, ඉදින් වර්තමාන කෙලෙස් සමූහය නොගන්නෙහි නම් මැනව උපශාන්තව හැසිරෙන්නේය.

“යමෙකුට නාමරූප දෙකෙහි මාගේ යයි ගන්නා ලද්දක් හෝ සර්වප්‍රකාරයෙන් නැද්ද නැතිවන බැවින්ම ශොක නොකරයි. හෙතෙම ඒකාන්තයෙන් ලොකයෙහි පිරිහීමට නොයන්නේය.

“යමෙක්හට මෙය මාගේ යයි හෝ නැවත අනුන්ගේ යයි හෝ කිසිරූපාදී ධර්ම සමූහයක් නැත්තේද, හෙතෙම තෘෂ්ණාදෘෂ්ටි මමත්වයක් නොලබන්නේ මට මෙය නැතැයි ශොක නොකරන්නේය.

“ඒ නොසැලෙන පුද්ගලයා අසන ලද්දේ මේ අනුසස් කියමි. ඊර්ෂ්‍යා නැත්තෙක, ගිජු නොවූවෙක, තෘෂ්ණා විරහිතයෙක, සියලු තන්හි සමව පවත්නෙක.

“පහකළ තෘෂ්ණා ඇති මනා අවබොධයෙන් දත්තාහට යම්කිසි සංස්කාරයක් නැත. භවයක් ඇතිකරණ රැස්කිරීම්වලින් වෙන්වූ හෙතෙම සෑමතැන්හි නිර්භයව දකී.

“රහත් මහණතෙම සමානයන් කෙරෙහි සමානයයි නොකියන්නේය. හීනයන් කෙරෙහි තමා උසස්යයි නොකියන්නේය. ශ්‍රෙෂ්ඨයන් කෙරෙහි ශ්‍රෙෂ්ඨයයි නොකියන්නේය. සන්හුන් රාගාදී කෙලෙස් ඇති, පහවූ මසුරුකම ඇති හෙතෙම නොගන්නේය. නොබැහැර කරන්නේයයි, බුදුහු වදාළහ.”

අත්තදණ්ඩසුත්තං පන්නරසමං නිට්ඨිතං.