ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

4. අෂ්ටක වර්ගය

16. ශාරීපුත්‍ර සූත්‍රය

මෙබඳු මිහිරි වචන ඇති දර්ශනයක් තුෂිත දිව්‍යලොකයෙන් මවුකුසට පැමිණියාවූ ගණාචාර්යවූ ශාස්තෘ තෙම මා විසින් මේ සකස්පුරයට බැසීමට පෙර නොදක්නා ලද්දේය. ක්ෂත්‍රියාදී කිසිවක්හුගෙන්ද නොඅසන ලද්දේයයි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ කීයේය.

“පසැස් ඇති සර්වඥ තෙම දෙවියන් සහිත ලොකයාට යම්සේ පෙනේද, එසේ මිනිසුන්ටද පෙනේ. අසහායවූයේම සියලු රාගාදී කෙලෙස් අඳුර දුරුකොට නෛෂ්ක්‍රම්‍යාදී ඇලීමට පැමිණියේය.

“මෙලොව බොහෝ ක්ෂත්‍රියාදී ශිෂ්‍යයන් අතුරෙන් යහපත බලාපොරොත්තුවම තෘෂ්ණාදෘෂ්ටි ආශ්‍රය නොකළ තාදීවූ නැති කළ ත්‍රිවිධ කුහන වස්තු ඇති ගණයට අධිපති බවට පැමිණි ප්‍රසිද්ධ බුදුන් වෙතට ප්‍රශ්න අසනු කැමැත්තෙන් පැමිණියෙමු.

“ජාති ජරා ව්‍යාධි මරණ කරණකොටගෙන පිළිකුල් කරන්නාවූ ඉඩකඩ ඇති නොගැලපෙන ඇඳ පුටු සෙවුනාවූ මහණහට, රුක්මුල හෝ සොහොන හෝ පර්වත ස්ථාන හෝ ගුහා හෝ ලොකු කුඩා සෙනාසනවල කෙතෙක් බිය උපදවන කරුණු වෙත්ද මහණතෙම නිහඬවූ ඒ සෙනසුන්හි බිය උපදවන යම්කිසි කරුණුවලින් නොසැලෙන්නේද,

“මහණතෙම සුදුසු සෙනසුන්හි යම් උපද්‍රවයක් මැඩ පවත්නේද නොගියවිරූ අමාමහ නිවණට යන්නාහට ලෙව්හි උවදුරු කෙතෙක්වෙත්ද,

“සකස්කළ වීර්ය ඇති ඒ මහණහට කෙබඳුවචන කෙනෙක් වන්නාහුනම් යහපත්ද ඕහට මෙහි කෙබඳු ගොචර කෙනෙක් වන්නාහු නම් මැනැවිද,

“එකඟ සිත් ඇති පණ්ඩිතවූ සිහි ඇති ඒ මහණ තෙම කවර හික්මීමක් සමාදන්ව රන්කරු රත්රන්වල මල පිඹහරින්නාක් මෙන් තමාගේ කෙලෙස් මල හරින්නේය.

“ශාරීපුත්‍රය, පිළිකුල් කරන්නාවූ විවේකශය නසන එකාන්තයෙන් ආශ්‍රය කරණ සතර මාර්ග ඥානය කැමති මහණහට යම් පහසු විහරණයක්වේද, යම්බඳු අනුධර්මයක් වේද, මේ සැපවිහරණයත් ඒ අනුධර්මයත් අවබෝධවනසේ තට කියන්නෙමියි භාග්‍යවත් තෙම වදාළසේක.

“වීර්යවත්, සිහියෙන් යුත් ගුණයෙහි අන්තයේ හැසිරෙන ඒ මහණතෙම මැස්සන් පිළිබඳවූද, සර්පයන් පිළිබඳවූද සොරුන්ගේ ස්පර්ශය පිළිබඳවූද සිංහාදී සිවුපාවුන් පිළිබඳවූද සස්නෙන් පිට අය සම්බන්ධවූද යන පස්දෙනා පිළිබඳ සිත් තැතිගැනුම් කෙරෙන් බිය නොවන්නේද, ඔවුන්ගේ බොහෝ බිය උපදවන අරමුණු දැක හෝ අසා හෝ නොතැතිගන්නේයි. තවද කුසල් දහම් සොයන්නේ අන්‍යවූ වැඩියයුතු උවදුරුද මැඩ පවත් වන්නේයි.

“රොග ස්පර්ශයෙන්ද සාගින්නෙන්ද යුක්තවූයේ සීතල ගුණයද ඉතා උණුසුම් ගුණයද ඉවසන්නේය. මහණ තෙම ඒ රොග ස්පර්ශයෙන් බොහෝසේ මඩනා ලද්දේ අභිසංස්කාර විඥානාදීන්ට ඉඩ ඇති නොකරන්නේ චෛතසික වීර්යාරම්භය කරන්නේය.

“සොරකම් නොකරන්නේයි. බොරු නොකියන්නේයි. පෘථග්ජනයන්ද රහතන්ද යන සකල සත්වයන් මෛත්‍රියෙන් පතුරුවන්නේය. යම් කලෙක්හි චිත්තයාගේ කැළඹුනු බවක් දන්නේ නම් ඒ සියල්ල මාරයාගේ පක්ෂයට අයත්යයි දුරුකරන්නේය.

“ක්‍රොධයාගේද අතිමානයාගේද වසඟයට නොයන්නේය. ඒ ක්‍රොධ, අතිමානයන්ගේ අවිද්‍යා මුලද උගුල්ලා දමා සිටින්නේය. ප්‍රිය වස්තුව හෝ අප්‍රිය වස්තුව මැඩපවත්වන්නේ ඒකාන්තයෙන් මැඩපවත්වන්නේය.

“යහපත් ප්‍රීතියෙන් යුත් මහණතෙම ප්‍රඥා පෙරටු කොට ඒ උවදුරු යටපත් කරන්නේය. විවේක ඇති සෙනාසනවල නොඇල්ම යටපත් කරන්නේය. සතර වැදෑරුම්වූ වැලපෙන ධර්ම ඉවසන්නේය.

“කුමක්නම් අනුභව කරන්නෙම්ද, නොතැන්හී හෝ බුදින්නෙම්ද, මේ රැයෙහි ඒකාන්තයෙන් දුකසේ සයනය කෙළෙමි. අද රෑ කොතැන්හි සුවසේ නිදන්නෙම්ද, යන වැලපීම් ගෙනදෙන මේ විතර්කයන් බාධා නැතිව හැසිරෙන ශෛක්ෂතෙම හික්මවන්නේය.

“මේ ශාසනයෙහි ඒ මහණතෙම පිණ්ඩපාත කාලයෙහි ආහාරයද, වස්ත්‍රද ලැබ ලද දෙයින් සතුටුවීම පිණිස පමණ දන්නේය. මහණතෙම ඒ ප්‍රත්‍යයන් ගැනද සංවරවූයේ ගම්හි සංයත විහරණ ඇතියේ වන්නේය. තවද අවමන් කරණ ලදුයේ පරොස් බස් නොකියන්නේය.

“යටබලා හෙලන ලද ඇස් ඇත්තේ නුවුවමනා ගමනින් දුරුවූයේවේ. ධ්‍යානයෙහි යුක්ත ප්‍රයුක්තවූයේ බොහෝ කොට නිදි දුරු කිරීමෙන් යුක්ත වන්නේය. නීවරණ වලින් සිත පිරිසිදු කරන්නේය. චතුර්ථධ්‍යාන උපෙක්ෂාව අරභයා එකඟසිත් ඇත්තේ කාමවිතර්කාදිය හා කාම සංඥාදිය හා කුකුසද සිඳින්නේය.

“වචනයෙන් සොයන ලදුයේ සිහි ඇතිව සතුටු වන්නේය. සබ්‍රම්සරුන් කෙරෙහි තද බව නැති කරන්නේය. නුවණින් යුත් සිතින් උපදවනලද තෙපුල් කියන්නේය. කාලවෙලා නොඉක්ම වන්නේය. ක්ෂත්‍රියාදී ජනයාගේ පරිවාද කථාවෙහිලා සිතීමක් නොඋපදවන්නේය.

“ඉක්බිති මින් අනිකක් කියමි. ලොව රූපරාගාදී පස් රජස්හුවෙති. සිහි ඇතිව යම් රූපරාගාදී කෙනෙකුන්ගේ ප්‍රහානය පිණිස හික්මෙන්නේ නම් රූපාරමුණු කෙරෙහිද ශබ්දාරමුණු කෙරෙහිද නැවත ගන්ධරස ස්පර්ශ අරමුණු කෙරෙහිද ඇල්ම මැඩලන්නේය.

“එළඹ සිටි සිහි ඇති මොනවට මිදුන සිත් ඇති ඒ මහණතෙම මේ රූපශබ්දාදී ධර්මයන් කෙරෙහි කැමැත්ත දුරුකරන්නේය හෙතෙම සුදුසු කාලයෙහි මැනවින් ධර්මය විමසන්නේ සමෘද්ධිමත්වූයේ අන්ධකාරය නසන්නේයයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ.”

සාරිපුත්තසුත්තං සොළසමං නිට්ඨිතං.

අට්ඨකවග්ගො චතුත්ථො