ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

4. අෂ්ටක වර්ගය

6. ජරාසූත්‍රය

“මේ ජීවිතය ඒකාන්තයෙන් ස්වල්පය, අවුරුදු සියයෙන් මෙපිටද මැරෙන්නේය. ඉදින් යමෙක්තෙම අවුරුදු සියය ඉක්මවා ජීවත්වන්නේ නමුදු එකල්හි වනාහි හෙතෙම ජරාවෙන් හෝ මැරෙන්නේය.

“ජනයෝ මගේයයි ගත් දෙයින් ශොකකරත්, සදාකාලිකවූ අයිති දේ නැත. මේ (ජීවිතය) ඇත්තේම වෙන්වීමද වන්නේය. මෙසේ දැක ගිහිගෙයි නොවසන්නේය.

“පුරුෂතෙමේ මෙය මාගේයයි යමක් (රූපවෙදනාදියක්) සිතාද, එය මරණයෙන් හරින්නේය. මමත්වය ඇති පණ්ඩිත තෙමේ මේ දැක මමත්වය පිණිස නොනැමෙන්නේය.

“පිබිදුණු පුරුෂතෙම සිහිනෙන් දුටුවිරූදෙය නොදකීද එසේම මැරීගියාවූ, කළුරියකළාවූ ප්‍රියකළ ජනයා නොදකී.

“යමකුන්ගේ නම මේයයි කියනු ලැබේද, ඒ ජනයෝ දක්නාලදද අසනලදද පරලොව ගිය සත්වයාගේ නාමයම ව්‍යවහාර කරන්නට ඉතිරිවන්නේය.

“ගිජුවූවාහු මගේයයි ගත්තෙහි ශොකය, වැලපීම, මසුරුකම අත්නොහරිත්. එහෙයින් නිවන් දක්නාසුලු මුනිවරු අයිතිය හැරපියා හැසුරුණහ.

“විවේකයෙන් හැසිරෙන, වෙන්වූ අසුන සෙවුනාවූ, ඒ මහණහට යමෙක් තමා (නිරයාදි) ලෝකවල නොදක් වන්නේද තමාට නිරයාදියට නොයාම සාමග්‍රියයි කියත්.

“සියලු තන්හි (තෘෂ්ණාදෘෂ්ටි) ඇසුරු කිරීමක් නැති මුනිතෙම ප්‍රියභාවයද අප්‍රිය භාවයද නොකරන්නේය. ඔහු කෙරෙහි වැලපීම හා මසුරුකම නෙළුම් කොළයේ දිය මෙන් නොඇලෙයි.

“යම්සේ නෙළුම් පතක දියබිඳක්වත් නොසිටීද, යම්සේ නෙළුම් මලෙක ජලය නොද ඇලේද එසේ මුනිතෙම යම් මේ ඇසූ, දුටු, සිතූ දෙයෙහි හෝ නොඇලෙන්නේය.

“ක්ෂීණාශ්‍රවතෙම යම්මේ ඇසින් දක්නාලද කණින් අසනලද සිතින් සිතනලද දෙයෙහි හෝ නොහඟින්නේය. ඒ රහත් මහණතෙම අන්පරිද්දකින් ශුද්ධිය නොකැමැතිවේ. හෙතෙම නොම ඇලෙයි. නොඇලෙන්නේද නොවේ.

ජරාසුත්තං ඡට්ඨං නිට්ඨිතං.