ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

5. පාරායණ වර්ගය

අජිත මාණවක පුච්ඡා සූත්‍රය

“මන්ත්‍ර ශාස්ත්‍රයෙහි පරතෙරට පැමිණි බමුණුතෙම ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය බලාපොරොත්තු වෙමින් රම්‍යවූ කොසොල් නුවරින් දකුණු පැත්තට ගියේය.

“හෙතෙම අස්සක, අලක, දෙරට මැද ගොධාවරී ගඟබඩ පිඬු සිඟා කෑමෙන්ද, පලවැල බුදිමින්ද, වාසය කළේය.

“ඒ තැන්ම ඇසුරු කොට ගමද මහත් වූහ. ඉන් ලත් ආදායමින් මහා දානයක් දුන්නේය.

“මහා දානයක් දී නැවත ආශ්‍රමයට ආවේය. එහි පිවිසි කල්හි අනික් බ්‍රාහ්මණයෙක් ආවේය.

“පීඩාවූ පා ඇති බියපත්වූ කිලිටි දත් ඇති හිස කිලිටිවූ හෙතෙම ඔහු කරා පැමිණ පන්සීයක් ඉල්වයි.

“ඔහු බාවාරීතෙම දැක අස්න දුන්නේය. සැපසනීප විචාරා මෙසේ කීයේය.

“බ්‍රාහ්මණය, මගේ යම් දියයුතු දෙයක් වේද, මා විසින් සියල්ල වියදම් කරණලදී. මා ලඟ පන්සියයක් නැති බව දැන ගන්න.

“පින්වත්තෙමේ ඉදින් ඉල්වන්නාවූ මට නොදෙන්නේද, සත්වෙනි දවසෙහි ඔබගේ මුදුන සත්කඩකට පැලෙන්නේය.

“හෙතෙම මල් කුසතණ ආදිය රැස්කොට ව්‍යාජ ගති අඟවා භයානක වචන කීයේය. ඔහුගේ ඒ වචනය අසා බාවාරීතෙමේ දුක් වූයේය.

“ශොක නැමැති හුලින් පීඩාවූයේ නිරාහාරව වියලෙයි. මෙබඳු සිතක් ඇත්තහුගේ සිත ධ්‍යානයෙන් ප්‍රීතිමත් කරගනියි.

“තැති ගත් දුකට පත් ඔහු දැක යහපත කැමති දෙවතාවෙක් බාවාරී වෙත පැමිණ මේ වචන කීයේය.

“ව්‍යාජ ගති අඟවන ඒ වස්තු කැමැත්තා මුදුන නොදනී. මුදුනෙහි හෝ මුදුන හෙළීමෙහි හෝ නුවණක් ඔහුට නැත.

“ඉදින් පින්වතා දන්නේද, විචාරණ ලද්දාවූ මට කියව, ඔබගේ මුදුනය මුදුනෙහි වැටීමය යන වචනය අසමු.

“මෙය මාද නොදනිමි. මෙහි මට නුවණක් නැත. මුදුනය, මුදුනෙහි වැටීමය යන දෙක දන්නේ බුදුවරුය.

“මේ පොළොවෙහි දැන් කවරෙක් මුදුන මුදුනෙහි හෙළීම යන දෙක දන්නේද, විචාරණ ලද මට එය කියව”

“ඔක්කාක රාජ වංශයෙහිවූ ශාක්‍ය පුත්‍රවූ ආලොකය දෙන්නාවූ ලොකයට නායකතෙමේ කිඹුල්වත් නුවරින් නික්මුණේය.

“සියලු ධර්මයන්හි පරතෙරට ගිය බ්‍රාහ්මණ බුද්ධවූ හෙතෙම සියලු විශිෂ්ට ඥාන බලයෙන් යුක්තය. සියලු ධර්මයන්හි දැනීම ඇත්තේය. සියලු ධර්මයන් ක්ෂය කිරීමට ගියේ පව් ක්ෂය කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුනාවූ,

“ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නුවණැස් ඇත්තේ ලොකයාට ධර්ම දෙශනාකරයි. ඔබ උන්වහන්සේ වෙත පැමිණ විචාරව, හෙතෙම එය තොපට ප්‍රකාශ කරන්නේය.

“සම්බුද්ධ යන වචනය අසා බාවාරිතෙමේ සතුටුවූයේ. ශොකය තුනී විය. මහත් ප්‍රීතියක්ද ලැබුනේය.

“සතුටුවූ ප්‍රීතිමත්වූ ඒ බාවාරිතෙමේ හටගත් ප්‍රීතිය ඇත්තේ ඒ දෙවතාවාගෙන් මෙසේ ඇසූයේය. “යම් තැනකට පැමිණ දෙපා ඇත්තවුන්ට අග්‍රවූ භාග්‍යවතුන් වහන්සේ නමස්කාර කරණ ලදී. ගමෙහි හෝ නියම්ගමෙහි එය කරණ ලදී. නැවත ජනපදයෙහිද එය කරණ ලදී.

“මහත් ප්‍රඥා ඇති ශ්‍රෙෂ්ඨ ප්‍රඥා ඇති පහවූ වැඩ ඇති මන්ත්‍ර දන්නා, ආශ්‍රව රහිත, මුදන සිඳීම දන්නා නර ශ්‍රෙෂ්ඨවූ ඒ ශාක්‍ය පුත්‍ර ජිනතෙමේ සැවැත් නුවර කොසොල් රජුගේ මාලිගයෙහි වැඩ සිටී.”

ඉක්බිති මන්ත්‍ර ශාස්ත්‍ර දත් බමුණුතෙම “මාණවකයෙනි, කියන්නෙමි, මාගේ වචන කියව් යයි” මාණවකයන්ට ආමන්ත්‍රණය කළසේක.

“යමෙක් ලොකයෙහි දුර්ලභද නිතර පහළවීම දුෂ්කරද හෙතෙම අද ලොකයෙහි උපන්නේය. සම්බුද්ධ යයි ප්‍රසිද්ධ විය. සැවැත් නුවරට වහා ගොස් දෙපා ඇත්තන්ගෙන් උත්තමයා දකිව්.”

“බමුණ, බුද්ධ, යනු කෙසේ දනිමුද දකිමුද උන්වහන්සේ ගැන නොදන්නාවූ අපට ප්‍රකාශ කරව.”

“වෙද මන්ත්‍රවල මහා පුරුෂ ලක්ෂණයෝ ආවාහුය. හාත්පසින් දෙතිසක්යයි පිළිවෙළින් ප්‍රකාශ කරණ ලද්දාහ.

යම්කිසි කෙනෙකුගේ අවයවයන්හි මේ මහා පුරුෂ ලක්ෂණ ඇත්තාහුද, ඔහුට ගති දෙකක් තුනක් නැත.

“ඉදින් මේ පොළොව දිනා ගිහිගෙයි වසයි නම් දඬුවම් නොකිරීමෙන් ආයුධ පාවිච්චි නොකිරීමෙන් සක්විති රජව ධර්මයෙන් අනුශාසනා කරයි.

ඉදින් හෙතෙම ගිහිගෙන් නික්ම අනගාරිය නම් ශාසනයෙහි පැවිදි වේද කෙලෙස් සෙවෙනි නැති නිරුත්තර අර්හත් සම්බුද්ධ වන්නේය.

“ජාතියද ගොත්‍රයද ලකුණුද මන්ත්‍රද ශිෂ්‍යයන්ද නැවත මුදුනද මුදුනෙහි හෙළීමද සිතින්ම විචාරව.

“ඉදින් අනාවරණ ඥානයෙන් යුත් බුදු කෙනෙක් වේනම් සිතින් විචාළ පැන වචනයෙන් විසඳන්නේය.”

බාවාරිගේ වචන අසා ගෝලවූ බ්‍රාහ්මණයෝ සොළොස් දෙනෙක් එනම් අජිතය, තිස්ස, මෙත්තෙය්‍යය, පුණ්ණකය, මෙත්තගුය.

ධොතකය, උපසීවය, නන්දය, හෙමකය යන මොවුහුද තොදෙය්‍යය, කප්පය යන දෙදෙනය නුවණැති ජතුකණ්ණය.

භද්‍රාවුධය උදයය, පොසාල බ්‍රාහ්මණය ප්‍රඥාවත් මොඝරාජය, පිංගිය, මහා ඍෂීය යන මොවුහුය.

වෙන වෙන පිරිස් ඇති සියලු ලොකයෙහි ප්‍රසිද්ධවූ පූර්ව වාසනා ඇති ධ්‍යාන ඇති, ධ්‍යානයෙහි ඇලුනු පණ්ඩිතයෝ,

බාවාරි වැඳ ඔහු පැදකුණු කොට සියල්ලෝ ජටා දිවිසම් දරාගෙන උතුරු දෙස බලා ගියෝය.

පෙර බාහිස්සති නම්වූ එකල්හි අලක නම් නුවර පිහිටි තැන, උදෙනි නුවරද ගොධ නුවරද වෙදිස වනයද,

කොසඹෑ නුවරද උතුම් සැවැත් නුවරද සෙතව්‍ය නුවරද කිඹුල්වත් පුරයද, කුසිනාරා මන්දිරයද,

පාවා නුවරද, භොග නුවරද, වෙසාලී නුවරද, මගධ පුරයද සිත්කළු යහපත් පාසානක චෛත්‍යයද (ගෙවා)

වෙළඳතෙම තැවුනේ සිහිල් ජලයක් මහත් ලාභයක් කොට සිතන්නා සේද ග්‍රීෂ්මයෙන් පීඩිතවූයේ සෙවනකට මෙන්ද, වහා පර්වතයට නැංගේය.

ඒ අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පෙරටු කළසේක් වනයෙහි නාද කරණ සිංහයෙකු මෙන් භික්ෂූන්ට දහම් දෙසයි.

“අජිතතෙමේ සීයක් රැස් ඇති සූර්යයා මෙන් පසළොස්වක දවසෙහි චන්ද්‍රයා මෙන් සම්පූර්ණ බවට පත්වූ බුදුරජාණන් වහන්සේ දැක්කේය.

ඉක්බිති උන්වහන්සේගේ ශරීරයෙහි සම්පූර්ණ වූ ලක්ෂණ දැක එකත්පසෙක සිටියේ හිතින් ප්‍රශ්න විචාළේය.

“මුලින්ම උත්පත්තිය කියන්න උදාහරණ සහිත ගොත්‍රය කියන්න. මන්ත්‍රයන්හි කෙළවර කියන්න. කී දෙනෙකුට බමුණුතෙමේ උගන්වයිද?

“ආයුෂ එක්සිය විසි වර්ෂයකි. හෙතෙමේ ගොත්‍රයෙන් බාවාරීය. ඔහුගේ ශරීරයෙහි ලක්ෂණ තුනක් ඇති ත්‍රිවෙදයන්ගේ පරතෙරට ගියේය.

“ලක්ෂණ ශාස්ත්‍රයෙහිද ඉතිහාසයෙහිද නිඝණ්ඩු ශාස්ත්‍රයෙහිද, විතණ්ඩ ශාස්ත්‍රයෙහිද, පන් සියයක් හික්මවයි. සද්ධර්මයෙහි පරතෙරට ගියේය.

“නරොත්තමයන් වහන්ස, තෘෂ්ණා සිඳී බුදුරජාණන් වහන්ස, බාවාරිගේ ලක්ෂණ විස්තරය ප්‍රකාශ කරණු මැනව, එවිට අපට සැකයන් නොවන්නාහ.”

“මුහුණ දිවෙන් වසන ලක්ෂණයද බැම අතරෙහි ඌර්ණරෝම ධාතුවද කොෂය ඇතුළෙහිවූ රහස් අවයවයද බමුණ, දනුව,

“ප්‍රකාශ කළ ප්‍රශ්න කිසිවක් විචාරණු නොඇසුනු සියලු ජනතෙම ප්‍රීති ඇතිව ඇඳිලි බැඳ සිතයි.

“කවරෙක්ද දෙවියෙක්ද බ්‍රහ්මයෙක්ද ඉන්ද්‍රයාද සුජම්පතීද සිතින් සිතූ පැනයන් මේ කවරෙක් ප්‍රකාශ කරයිද.

“මුදුනද මුදුනෙහි වැටීමද බාවාරිතෙමේ විචාරයි. භාග්‍යවතුන් වහන්සේ එය ප්‍රකාශ කළ මැනව. ඍෂීන් වහන්ස අපගේ සැක දුරු කරව්.”

“අවිද්‍යාව මුදුන යයි අනුව, ශ්‍රද්ධා, සති, සමාධි, ඡන්ද විරිය යන මොවුන්ගෙන් යුත් විද්‍යාව මුදුනෙහි වැටීම යයි කියනු ලැබේ.”

මාණවකතෙමේ ඉක්බිති මහත් සතුටින් ප්‍රීතිමත්ව අඳුන් දිවිසම එකාංශ කොට පා මුල්හි හිසින් වැටුණේය.

“නිදුකාණෙනි, බාවාරි බ්‍රාහ්මණතෙම ශිෂ්‍යයන් සමග ඔදවැඩි සිත් ඇත්තේ සතුටු සිත් ඇත්තේ පසැස් ඇති නුඹවහන්සේගේ පා වඳියි.”

“ශිෂ්‍යයන් සමග බාවාරි බ්‍රාහ්මණතෙම සුවපත් වේවා. මාණවකය ඔබද සුවපත් වෙව, බොහෝ කල් ජීවත් වෙව,

“බාවාරිගේ හෝ ඔබගේ හෝ සියල්ලන්ගේ සියලු සැකය. අවකාශවූ පරිද්දෙන් විචාරව. යමක් සිත කැමැත්තේද එයද අසව.”

බුදුන් විසින් කරණ ලද අවකාශ ඇති අජිත තෙමේ ඇඳිලි බැන්දේ එහිදී තථාගතයන් වහන්සේගෙන් පළමුවෙනි ප්‍රශ්නය විචාළේය.

වත්ථුගාථා නිට්ඨිතා.