ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

5. පාරායණ වර්ගය

උපසීම මාණවක සූත්‍රය

“ශ්‍රෙෂ්ඨයානෙනි. මම පුද්ගලයෙකු හෝ ධර්මයක් හෝ ආශ්‍රය නොකොට මහත් කෙලෙස් සැඩපහර තරණය කරන්ට නොහැක්කෙමි. යමක් ආශ්‍රය කොට සැඩපහර තරණය කරම්ද නුවණැස් ඇත්ත ඊට අරමුණු වදාරන්නැයි” ආයුෂ්මත් උපසීවතෙමේ විචාළේය.

භාග්‍යවතුන් වහන්සේ “උපසීවයෙනි, සිහි ඇතිව ආකිඤ්චඤ්ඤායතනය බලමින් නැත යන්න ඇසුරු කොට සැඩපහර තරණය කරව. කාමයන් අත්හැර සැකය පහ කෙළේ රෑ දාවල් දෙක්හි නිවන ප්‍රකටව බලව.”

“යමෙක් සියලු කාමයන්හි වීතරාගීවූයේද ආකිඤ්චඤායතනය ආශ්‍රය කොට ඊට පහළ සමාපත්ති භය හැර ඒ පුද්ගලතෙම ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහි චුත නොවමින් සිටීදැයි” ආයුෂ්මත් උපසීවතෙමේ ප්‍රශ්න කරයි.

“යමෙක් සියලු කාමයන්හි පහවූ ආශා ඇත්තේද, සෙස්ස අත්හැර ආකිඤ්චඤ්ඤායතනය අත්හළේද, හෙතෙම ශ්‍රෙෂ්ඨ ආකිඤ්චඤ්ඤායතනයෙහි සිටින්නේයයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

“සර්වඥයන් වහන්ස හෙතෙම එහි පහනොවෙමින් ඉදින් සිටීනම් මහත් වර්ෂ රාශියක් ඒ ආකිඤ්චඤ්ඤායතනයෙහිම සිටියේ දුකින් මිදුනේ වන්නේය. ඒ සිටි පරිදිම විඤ්ඤාණය චුතවේද (නැතිවේද)”

භාග්‍යවතුන් වහන්සේ “උපසීව වාතවේගයෙන් දමන ලද ගින්න යම්සේ එහිම අස්තයට යාද අසවල් දිගට ගියේයයි නොකිව හැකිය. එසේම ඒ මුනිතෙම නාමකයින් මිදුනේ අස්තයට යේ. අසවල් තැනට ගියේයයි නොවේ.”

“හෙතෙම අස්තයට ගියේ කිසි තැනක වාසයක් නැද්ද නොහොත් යම් බඳු හෙතෙම ශාස්වතද නොපෙරලෙන ස්වභාවද මට මුනිතෙමේ මනාකොට ප්‍රකාශ කරන්න. මේ කාරණය එසේ දැනගන්නෙම්ද?”

“උපසීවයෙනි, අස්තයට යන ඔහුට රූපාදියක් නැත. යමෙකු විසින් ඔහු මෙසේ මෙසේයයි කියන්නේ නම් නසනලද සියලු ස්කන්ධාදී ධර්මයන්හි සියලු වාද හෙතුද නසනලද්දාහයි” භාග්‍යවතුන් වහන්සේ වදාළහ.

උපසීවමාණවපුච්ඡා ඡට්ඨී නිට්ඨිතා.