ඛුද්දකනිකාය

ථෙරගාථා

දසක නිපාතය

10.4. චූලපන්ථක ථෙර ගාථා

“මෝඩ ගතිය නිසා මම මුල් අවස්ථාවෙහි නින්දා ලැබුවෙමි. තොප ගෙදර යව කියා සහෝදරයාද පිටමන් කෙළේය.

“සහෝදරයා විසින් පිටමන් කරණලද ඒ මම සංඝාරාම දොරකඩ සමීපයෙහි දොම්නසින් ශාසන අපෙක්ෂාව ඇතුව සිටියෙමි.

“එකල්හි භාග්‍යවතුන් වහන්සේ මා කරා පැමිණි සේක. මගේ හිසද උන්වහන්සේ විසින් පිරිමදිනලදී. අතින් අල්ලා මා රැගෙන සංඝාරාමයට පිවිසිසේක.

“මට ශාස්තෲන් වහන්සේ අනුකම්පාකොට රෙදි කැබෙල්ලක් දුන්සේක. එකත්පස්ව සිට මෙහි පිරිසිදුකම අධිෂ්ඨාන කරව්.

“මම උන්වහන්සේගේ වචනය අසා ශාසනයෙහි ඇල්ම ඇත්තෙක්ව උත්තමාර්ථය පිණිස පවතින සමාධිය ඉපදවීමි.

“පෙර විසූ කඳ පිළිවෙළ දැනගතිමි. දිවැස පිරිසිදු කෙළෙමි. ත්‍රිවිද්‍යාව ලදිමි. බුදුන්ගේ අනුශාසනාවද සම්පූර්ණ කෙළෙමි.

“පන්ථක ස්ථවිරතෙමේ තමා දහස්දෙනෙක් කොට මවා කල් පැමිණෙනතුරු රම්‍යවූ අඹවනයෙහි හුන්නේය.

“කල් දැන ශාස්තෲන් වහන්සේ මා කරා දූතයෙකු එවූසේක. මමද කල් දැන අහසින් එහි ගියෙමි.

“මම ශාස්තෲන් වහන්සේගේ පාද වන්දනාකොට එකත්පසෙක සිටියෙමි. එසේ සිටියාවූ මා ශාස්තෲන් වහන්සේ විසින් පිළිගන්නාලදී.

“සියලු ලෝකයා විසින් පිං බලාපොරොත්තුවෙන් දෙනුලබන දක්ෂිණාව පිංකෙතක්ව සිට මමද පිළිගතිමි.”

... චූළපන්ථකො ථෙරො....