ඛුද්දක නිකාය

උදානය

1. බොධි වර්ගය

10. බාහිය සූත්‍රය

(මෙහි මේ වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යතුයි.)

“ඒ කාලයෙහි බාහිය දාරුචීරිය සුප්පාරක තොටෙහි මුහුදු වෙරළහි වාසය කරයි. සත්කාර කරණ ලද්දේ ගරු කරණ ලද්දේ, බුහුමන් කරණ ලද්දේ, පුදන ලද්දේ, ගෞරව කරන ලද්දේ සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර ලබනසුලු දවස විය. ඉක්බිති විවේකයට ගියාවූ හෝ රහසිගතවූ බාහිය දාරුචිරියට “ලෝකයෙහි රහත්වූ හෝ රහත් මාර්ගයට බැස්ස යෙම් කෙනෙක් ඇත්ද, ඔවුන් අතරින් මමත් කෙනෙක්මියි” මෙසේ සිතට අදහසක් ඇතිවිය.

“ඉක්බිති බාහිය දාරුචීරිය හිතවත් යහපත කැමති පැරණි සහලේ නෑ දෙවතාවෙක් බාහිය දාරුචීරියගේ සිත තම සිතින් දැන බාහිය දාරුචීරිය යම් තනෙක්හීද එහි පැමිණියේය. පැමිණ, බාහිය දාරුචීරියට බාහිය ඔබ රහත්වී නැත. රහත් මාර්ගයට පැමිණවත් නැත. යමකින් ඔබ රහත් කෙනෙකු හෝ රහත් මගට පිළිපන් කෙනෙකු වන්නේද ඒ පිළිපැදීමද ඔබට නැතැයි” කීයේය.

“දෙවතාව, එසේ වීනම් ලෝකයෙහි කවරෙක් රහත්ද රහත් මගට පිළිපන්නේදැයි” ඇසීය. “බාහිය උතුරු ජනපදයන්හි, සැවැත් නම් නුවරක් ඇත්තේය. එහි අර්හත්වූ සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ රහත්වූයේද රහත් බව පිණිසද බණ කියයි.”

ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ ඒ දෙවතාවා විසින් යොදවන ලද්දේ එකෙනෙහිම සුප්පාරක ජනපදයෙන් පිටත් වූයේය. සියලු තන්හි එක් රැයක් පමණක් විසීමෙන් යම් තැනක සැවත් නුවර අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කරණ සේක්ද එහි පැමිණියේය.

ඒ කාලයෙහි බොහෝ භික්‍ෂූහු එළිමහනෙහි සක්මන් කරත්, ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ ඒ භික්‍ෂූන් යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ ඒ භික්‍ෂූන් වෙතින් “ස්වාමීනි අර්හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වසන සේක්ද? අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තෝ වෙමුයි” ඇසුවේය. “බාහිය, භාග්‍යවතුන් වහන්සේ පිඬු පිණිස ඇතුල්ගමට වැඩි සේක.”

“ඉක්බිති බාහිය දාරුචීරිය තෙමේ වහා ජෙතවනයෙන් නික්ම සැවැත් නුවරට ඇතුල්වී සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන පැහැදීම ඇති කරණ, පැහැදිය යුතු සන්සුන් ඉඳුරන් ඇති තැන්පත් සිත් ඇති, උතුම් ආත්ම දමනයට චිත්ත දමනයට පැමිණි, දැමුණු, රැකුණු, ඉන්‍ද්‍රිය සංවරයට පැමිණි උත්තමයාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. දැක භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේගේ සිරි පාමුල හිස තබා වැඳ භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, යමක් මට බොහෝකලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ඒ ධර්මය දෙසන සේක්වා, සුගතයන් වහන්සේ මට ඒ ධර්මය දෙසනසේක්වායි’ කීයේය.

“මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියට බාහිය නොකල්ය. පිඬු පිණිස ඇතුළු ගමට පිවිසියෙමියි” වදාළසේක. දෙවනුවත් බාහිය දාරුචීරිය භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් හෝ මගේ ජීවිතයට අනතුරක් හෝ වේද, මෙය සිතාගත නොහැක්කකි. ස්වාමීනි, යමක් මට බොහෝ කලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා. සුගතයන් වහන්සේ මට ධර්මය දෙසනසේක්වා.”

දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරිය තවුසාට “බාහිය, මේ නොකල්ය. පිඬු පිණිස ඇතුළුගමට පිවිසියෙමියි” වදාළසේක. තුන්වෙනුවත් බාහිය දාරුචීරිය තවුසා භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් හෝ මගේ ජීවිතයට අනතුරක් හෝ සිතාගත නොහැක්කකි. ස්වාමීනි, යමක් මට බොහෝකලක් හිත සැප පිණිස වන්නේද, මට භාග්‍යවතුන් වහන්සේ ධර්මය දෙසන සේක්වා.”

“බාහිය, තොප විසින් එසේ වීනම් මෙහි මෙසේ හික්මීය යුතුය. බාහිය තොපට යම්කිසි තැනක සිට දක්නා ලද්දෙහි දැකීම් මාත්‍රය වන්නේද, ඇසූ දෙයෙහි ඇසූ මාත්‍රය වන්නේද, පෘථිවි ස්පර්ශයෙහි ස්පර්ශකිරීම් මාත්‍රය වන්නේද, දක්නා ලද්දෙහි දැනීම් මාත්‍රය වන්නේද, එහෙයින් බාහිය, නුඹ ඉන් නොවේ. යම්හෙයකින් බාහිය, නුඹ ඉන් නොවේද, එහෙයින් බාහිය, ඔබ එහි නොවේ. යම්හෙයකින් බාහිය, ඔබ එහි නොවේද, එහෙයින් බාහිය, ඔබ මෙහි මෙලොව නොමවේ. පරලොව නොවේ. මෙලොව පරලොව දෙක අතරෙහි නොවේ. දුකේ අවසානය මෙයමයි.” ඉක්බිති බාහිය දාරුචීරියට භාග්‍යවතුන් වහන්සේගේ මේ ලුහුඬින් කළ ධර්ම දේශනාවෙන් එකෙණෙහිම කිසි ධර්මයක් දැඩිකොට නොගෙන කෙලෙසුන්ගේ සිත මිදුනේය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බාහිය දාරුචීරියම මේ ලුහුඬු අවවාදයෙන් අවවාද කොට වැඩිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩි ටික වේලාවකින් බාහිය දාරුචීරිය වසු පැටවෙක් ඇති දෙනක් ඇන ජීවිතය තොර කළාය.

“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පිඩු පිණිස හැසිර පසුබත පිණ්ඩ පාතයෙන් වැලැක්කේ බොහෝ භික්‍ෂූන් සමග නුවරින් නික්ම කළුරිය කළ බාහිය දාරුචීරිය දුටුසේක. දැක භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි, බාහිය දාරුචීරියගේ ශරීරය ගනිව්. ඇඳක තබා බැහැර කොට දවව්. ඔහුට ථූපයක්ද කරව්. මහණෙනි තොපගේ සබ්‍රම්සර කෙනෙකු කළුරිය කළේය.”

“ස්වාමීනි, එසේයයි” ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී බාහිය දාරුචීරියගේ මළකද ඇඳක තබා බැහැරකොට දවා ඔහුට ථූපයක්ද කොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත් පසෙක සිටි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි, බාහිය දාරුචීරියගේ ශරීරය දවන ලදී. ඔහුට ථූපයක්ද කරණ ලදී. ඔහුගේ ගතිය කවරේද? පරලොව කීමෙක්දැ”යි ඇසූහ.

“මහණෙනි, බාහිය දාරුචීරිය පණ්ඩිතය. නව ලොකොත්තර ධර්මයට හා විදර්ශනා ඥානයට පැමිණියේය. ධර්මය වෙනුවෙන් මට වෙහෙස නොකළේය. මහණෙනි, බාහිය දාරුචීරිය පිරිනිවියේය.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණු දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක. “යම් නිවණක පොළොව ජලය ගින්දර වාතය යන සතර නොපිහිටාද, එහි තාරකාද නොබබලත්. හිරුද නොපෙනේ.”

බෝධි වර්ගය නිමි.