ඛුද්දක නිකාය

උදානය

1. බොධි වර්ගය

5. මහාථෙර සූත්‍රය

[1] මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටානන් විසින් කරවන ලද ජෙතවනාරාමයයෙහි වැඩවසන සේක.

[2] එකල්හි වනාහි ඇවැත්වූ සැරියුත් තෙරුන් වහන්සේද ඇවැත්වූ මහ මුගලන් තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කාස්සප තෙරුන් වහන්සේද, ඇවැත්වූ මහා කච්චායන තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කොට්ඨිත තෙරුන් වහන්සේද ඇවැත්වූ මහා කප්පින තෙරුන් වහන්සේද, ඇවැත්වූ මහා චුන්‍ද තෙරුන් වහන්සේද, ඇවැත්වූ අනුරුද්ධ තෙරුන් වහන්සේද, ඇවැත්වූ රේවත තෙරුන් වහන්සේද, ඇවැත්වූ නන්‍ද තෙරුන් වහන්සේද, ඇවැත්වූ ආනන්‍ද තෙරුන් වහන්සේද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියහ.

[3] භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ඒ තෙරුන් වහන්සේලා දුරදීම දැකී සේක්මය. දැක භික්‍ෂූන් ඇමතු සේක. “මහණෙනි, බ්‍රාහ්මණවූ ඔවුහු එන්නාහ. මහණෙනි, බ්‍රාහ්මණවූ ඔවුහු එන්නාහ” යනුවෙනි. මෙසේ වදාළ කල්හි එක්තරා බ්‍රාහ්මණ ජාතික භික්‍ෂු නමක් භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේය. “ස්වාමීනි, කරුණු කීයකින් බ්‍රාහ්මණයෙක් වේද, කෙනෙකු බමුණකු කරණ ධර්මයෝ කවරහුද?” යනුවෙනි.

[4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක. “යමෙක් තුමූ හැම කල්හි සිහි ඇත්තාහු ලාමක අකුශල ධර්මයන් බැහැර කොට හැසිරෙද්ද, නැති කළ භව බැඳුම් ඇති ආර්‍ය්‍ය සත්‍යය අවබෝධ කළ ඔවුහුම ලෝකයෙහි බ්‍රාහ්මණයෝ වෙති.”