ඛුද්දක නිකාය

උදානය

1. බොධි වර්ගය

6. මහාකස්සප සූත්‍රය

[1] මේ සූත්‍රය මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි ලෙහෙනුන්ට අහාර දුන් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක.

[2] එකල්හි වනාහි ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ හටගත් ආබාධ ඇත්තේ දුක්වූයේ දැඩි ගිලන් බැව් ඇත්තේ පිප්ඵලී ගුහාවෙහි වාසය කරයි. ඉක්බිති ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ පසු කාලයක ඒ ආබාධයෙන් නැගිට්ටේය. ඒ ආබාධයෙන් නැගිටි ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේට මේ අදහස විය. ‘මම රජගහ නුවර පිඬු පිණිස හැසිරෙන්නෙම් නම් යෙහෙක,’ යනුවෙනි.

[3] එකල්හි වනාහි පන්සියයක් දේවතාවෝ ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේට පිණ්ඩපාතය දීම ලැබීමට උද්‍යෝගවත් වූහ. ඉක්බිති ඇවැත්වූ මහකසුප් තෙරුන් වහන්සේ ඒ පන්සියයක් දෙවියන් බැහැර කොට පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන රජගහ නුවර දිළින්දන්ගේ විථිය, ඉතා දුප්පතුන්ගේ වීථිය, රෙදි වියන්නන්ගේ වීථිය යම් තැනකද එහි පිඬු පිණිස හැසුරුන සේක. රජගහ නුවර දිළින්දන්ගේ වීථිය, ඉතා දුප්පතුන්ගේ වීථිය, රෙදිවියන්නන්ගේ වීථිය යම් තැනකද එහි පිඬු පිණිස හැසිරෙන ඇවැත්වූ මහකසුප් තෙරුන් භාග්‍යවතුන් වහන්සේ දැකි සේක.

[4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක.

“අන්‍යයන් පොෂණය නොකරන්නාවූ ආර්යය සත්‍යය දත් දැමුන, සාරයෙහි පිහිටි, නැතිකළ කෙලෙස් ඇති, වමාරා දැමූ කෝපය ඇති, ඔහු මම බ්‍රාහ්මණයා යයි කියමි.”