ඛුද්දක නිකාය

උදානය

2. මුචලින්‍ද වර්ගය

10. භද්දිය කාලිගොධා සූත්‍රය

[1] මේ සූත්‍රය මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අනුපිය නම් අඹවනයෙහි වැඩවසනසේක.

[2] එකල්හි වනාහි කාළි ගොධාවගේ පුත්‍රවූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ අරණ්‍යට ගියේද රුක්මුලට ගියේද ශුන්‍යාගාරයට ගියේද ඉතා ප්‍රීතියි, ඉතා ප්‍රීතියි’ කියා ප්‍රීතිවාක්‍යය පවත්වයි. අරණ්‍යයට ගියාවූද. රුක්මුළට ගියාවූද ශුන්‍යාගාරයට ගියාවූද කාළි ගොධාවගේ පුත්‍රවූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේගේ ‘ඉතා ප්‍රීතියි, ඉතා ප්‍රීතියි’ යන ප්‍රීතිවාක්‍යය පැවැත්වීම බොහෝ භික්‍ෂූහු ඇසුවාහුමය. අසා ඒ භික්‍ෂූන්ට මේ අදහස විය. ‘ඇවැත්ති, (ii) කාළිගොධාවගේ පුත්‍රවූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරතෙම ඇලීමක් නොමැතිව බඹසර හැසිරෙයි. යම් හෙයකින් හෙතෙම ගිහි කාලයෙහි රාජ්‍ය සැපය ඇතිව විසුයේද, හෙතෙම එය සිහිකරමින් වනයට ගියේද, රුක්මුලටගියේද, ශුන්‍යාගාරයට ගියේද නිතර ‘ඉතා ප්‍රීතියි, ඉතා ප්‍රීතියි’ යන ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කරයි, යනුවෙනි.

[3] ඉක්බිති බොහෝ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියාහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටියාහ. එකත්පස්ව සිටියාවූම ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වූහ. “ස්වාමීනි, (මෙහි 2(ii) යෙදිය යුතුයි)

[4] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්‍ෂුවකට ඇමතූසේක. ‘භික්‍ෂුව මෙහි එව, ඔබ මාගේ වචනයෙන් ‘ශාස්තෲන් වහන්සේ ඔබ කැඳවන්නේයයි’ හද්දිය භික්‍ෂුව කැඳවව”- “එසේය ස්වාමීනියි” ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචනදී කාළිගොධාවගේ පුත්‍රවූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ඔබ අමතනසේකැයි” කාළිගොධාවගේ පුත්‍රවූ ආයුෂ්මත් භද්දිය ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “එසේය, ඇවැත්නි”යි කාලිගෝධාවගේ පුත්‍රවූ ආයුෂ්මත් භද්දිය තෙම ඒ භික්‍ෂුවට උත්තරදී, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක සිටියාමවූ කාළිගොධාවගේ පුත්‍රවූ ආයුෂ්මත් භද්දියහට භාග්‍යවතුන් වහන්සේ මෙය ප්‍රකාශ කළසේක.

[5] “භද්දිය, ඔබ වනයට ගියේද රුක්මුලට ගියේද ශුන්‍යාගාරයට ගියේද නිතර ‘ඉතා ප්‍රීතියි’ ‘ඉතා ප්‍රීතියි’ යනුවෙන් ප්‍රීතිවාක්‍යය පවත්වන්නේ සැබෑද?”- “එසේය ස්වාමීනි” “හද්දිය ඔබ කුමන කාරණයක් සිහිකරමින් වනයට ගියේද, රුක්මුලට ගියේද, ශුන්‍යාගාරයට ගියේද, නිතර “ඉතා ප්‍රීතියි ඉතා ප්‍රීතියි’ යනුවෙන් ප්‍රීතිවාක්‍ය පවත්වන්නෙහිද?”

[6] “ස්වාමීනි, මා පෙර ගිහිවූයේ රාජ්‍යය කරවන කල්හි ඇතුළු නගරය ඇතුළෙහිද ආරක්‍ෂාව මනාකොට කරණලද්දේ විය. ඇතුළුනුවර පිටතද ආරක්‍ෂාව මනාකොට තබනලද්දේ විය. නගරයෙහි ඇතුළතද ආරක්‍ෂාව මනාකොට තබනලද්දේ විය. නගරයෙහි පිටතද ආරක්‍ෂාව මනාකොට තබනලද්දේ විය. ස්වාමීනි, ඒ යම් මෙසේ ආරක්‍ෂා ඇත්තේ සැඟවීම් ඇත්තේ බියවූයේ, තැතිගත්තේ සංකා ඇත්තේ, හටගත් ලොමුඩැහැගැනීම් ඇත්තේ වීමි. ස්වාමීනි, දැන් වනාහි මම වනයට ගියේද රුක්මුලට ගියේද ශුන්‍යාගාරයට ගියේද තනිවූයේ බිය නැත්තේ තැති නොගත්තේ සැකනැත්තේ ලොමුඩැහැගැනීම් නැත්තේ (මාගේ ආරක්‍ෂාවට) උත්සාහ නැත්තේ පහතට හෙලු ලෝම ඇත්තේ, අනුන් අයත් පැවතුම් ඇත්තේ (වනයක් හැර වනයකට යන) මුවන්ගේ මෙන් සිතින් වාසයකරමි. ස්වාමීනි, මම මේ කාරණය සිතමින් වනයට ගියේද රුක්මුලට ගියේද ශුන්‍යාගාරයට ගියේද, නිතර ‘ඉතා ප්‍රීතියි, ඉතා ප්‍රීතියි’ යනුවෙන් ප්‍රීති වාක්‍යය පැවැත්වීමි.

[7] ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය වදාළසේක.

“යමෙකුගේ අභ්‍යන්තරයෙහි කෝපයෝ නැත්තාහුද, භවයෙන් භවය ඇතිකරණ තෘෂ්ණාව ඉක්මවූයේද, පහකළ බිය ඇති ශෝක නැති සැපත ඇති ඔහු අධිගත මාර්ගය හැර උප්පත්ති දෙවියෝ දැකීමට නොහැකිවෙත්.”

දෙවැනි මුචලින්‍ද වර්ගය නිමි.