ඛුද්දක නිකාය

උදානය

2. මුචලින්‍ද වර්ගය

2. විරාජ සූත්‍රය

(මෙහි 1 වර්ගයේ 5 සූත්‍රයේ 1 ඡෙදය යෙදිය යුතුයි.)

එකල්හි වනාහි පිණ්ඩපාතයෙන් වැළකුනාවූ සවස් වේලෙහි උපස්ථාන ශාලාවෙහි එක්වූ, රැස්වූ බොහෝ භික්‍ෂූන් අතර මේ අතුරු කථාවක් පහළ විය. (ii) “ඇවැත්නි, මගධ රටට අධිපති සේනා ඇති බිම්බිසාර රජුද පසේනදි කොසොල් රජුද යන මේ රජවරුන් දෙදෙනාගෙන් කවරෙක් වනාහි මහත්වූ ධන ඇත්තේද, මහත්වූ භොග ඇත්තේද, මහත්වූ කොටු ගුල් ඇත්තේද, මහත්වූ විජිතයන් ඇත්තේද, මහත්වූ වාහන ඇත්තේද, මහත්වූ බල ඇත්තේද, මහත්වූ සෘද්ධිය ඇත්තේද යනුවෙනි. (iii) එකල්හි ඒ භික්‍ෂූන්ගේ අතුරු කථාව අවසන් නොවීය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගිටිසේක් උපස්ථාන ශාලාව යම්තැනකද එතැනට වැඩිසේක. වැඩ පනවනලද අස්නෙහි වැඩසිටිසේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක. “මහණෙනි දැන් රැස්ව කවර කථාවකින් යුක්තව සිටියහුද, කවර අතුරුකථාවක් ඉතිරිවීදැයි” විචාළසේක. “ස්වාමීනි මෙහි පිණ්ඩපාතයෙන් වැලකුණ සවස් කාලයෙහි එක්වූ රැස්වූ අප අතර මේ අතුරු කථාවක් පහළවිය. (මෙහි 2 (ii) යෙදිය යුතුයි.

“ස්වාමීනි මේ අතුරු කථාව අවසන් නොවීය. එකල්හිම වතුන් වහන්සේ වැඩිසේක යනුයි.

“මහණෙනි, ශ්‍රද්ධාවෙන් ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදිවූ යුෂ්මතුනට මෙය සුදුසු නොවේ. යුෂ්මත්හු කුමක් හෙයින් මෙබඳු කථා කියන්නහුද? රැස්වූ යුෂ්මතුන්ට වැඩ දෙකකි. දැහැමි කථාව හෝ ආර්‍ය්‍යවූ නිශ්ශබ්ද භාවයයි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වෙලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශකළසේක.

“ලෝකයෙහි යම් මානුෂික කාමසුවයක් ඇද්ද දිව්‍යකාම සුවයක් ඇද්ද, මේවා තෘෂ්ණාව දුරුකිරීමේ සැපයෙන් සොළොස්වන කලාව පමණකුත් නොවටියි.”