ඛුද්දක නිකාය

උදානය

2. මුචලින්‍ද වර්ගය

8. සුප්පවාසා සූත්‍රය

මේ සූත්‍රය මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුණ්ඩියා ප්‍රදේශයෙහි කුණ්ඩධාන නම් වනයෙහි වැඩවසන සේක.

එසමයෙහි සුප්පවාසා නම් කොලිය ධීතෘව සත්වසක් වූ ගැබ දරන්නී ගැබ සරසට වැටී සත් දිනක් ගතවිය, ඇය දුක්වූ දැඩිවූ කටූකවූ වේදනාවෙන් පෙළුනී තුන් විතර්කයන්ගෙන් ඉවසන්නීය. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධය. යම් ඒ සම්‍යක්සම්බුද්ධතෙම මේ දුක නැති කිරීමට ධර්මය දේශනාකරයි, ඒ භාග්‍යවතුන්වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒකාන්තයෙන් මනාව පිළිපන්නේය. යම්බඳු ඒ සංඝතෙම මේ දුක නැතිකිරීම පිණිස පිළිපන්නේය. යම් තැනක මෙබඳු දුකක් නැද්ද ඒ නිර්වාණය මනා සැපයකි. (යනු සිතා)

ඉක්බිති ඒ කොලිය ධීතෘව ස්වාමියා ඇමතීය. “ආර්ය පුත්‍රය ඔබ මෙහි එනුමැනවි. භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි යනු මැනව. ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිනු මැනව. සුව දුක් බල පහසුවිහරණ විචාරනු මැනවි. “ස්වාමීනි, සුප්පවාසා කොලියධීතෘව භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳින්නීය. සුව දුක් බල පහසුවිහරණ විචාරන්නීය. මෙසේද කියනු මැනවි. “ස්වාමීනි, සුප්පවාසා කොලිය ධීතෘව සත්වසක්වූ ගැබ දරන්නී ගැබ සරස්ව දින සතකි. ඇය දුක්වූ දැඩිවූ රළුවූ වේදනාවන්ගෙන් පෙළුනී තුන් විතර්කයන්ගෙන් ඉවසන්නීය. ඒකාන්තයෙන් ඒ භාග්‍යවත්තෙම සම්‍යක් සම්බුද්ධය. යම්බඳුවූ ඒ භාග්‍යවත්තෙම මෙබඳුවූ මේ දුක නැති කිරීම පිණිස ධර්මය දේශනා කරයි. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම මනාව පිළිපන්නේය. යම්බඳු ඒ සංඝතෙම මෙබඳුවූ මේ දුක නැතිකිරීම පිණිස පිළිපන්නේය. යම් තැනක මෙබඳු දුකක් නැත්තේද, ඒ නිර්වාණය මනා සුවයකි, ඉතා හොඳයයි’ ඒ කොළියපුත්‍රතෙම සුප්පවාසා කොලිය ධීතෘවට උත්තරදී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූම ඒ කොලියපුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.

“ස්වාමීනි, සුප්පවාසා කොලිය ධීතෘව භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳින්නීය. සුවදුක් බල පහසු විහරණ විචාරන්නීය. මෙසේද කියන්නීය. ‘ස්වාමීනි, සුප්පවාසා කොලිය ධීතෘව සත්වස්වූ ගැබ් දරන්නී ගැබ සරස්ව දින සතකි. ඇය දුක්වූ දැඩිවූ රළුවූ වේදනාවෙන් පෙළුනී තුන් විතර්කයන්ගෙන් ඉවසන්නී ඒ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් සම්‍යක් සම්බුද්ධය. යම්බඳු ඒ භාග්‍යවත්තෙම මෙබඳුවූ මේ දුක් නැති කිරීම පිණිස ධර්මදේශනා කරණසේක. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒකාන්තයෙන් සුපිළිපන්ය. යම්බඳු ඒ සංඝතෙම මෙබඳු මේ දුක් නැතිකිරීම පිණිස පිළිපන්නේය. යම්තැනක මෙබඳු දුකක් නැත්තේද ඒ නිර්වාණය මනා සුවයකි.’

“සුප්පවාස කොලිය ධීතෘව රෝග නැත්තී සැප ඇත්තී වේවා, නිරෝගිවූ පුතෙකු වදාවා”යි භාග්‍යවතුන් වහන්සේගේ වචනය සමගම සුප්පවාසා කොලිය ධීතෘව රෝග නැත්තී සැප ඇත්තී නිරෝගවූ පුතෙකු වැදුවාය. “එසේය ස්වාමීනියි” ඒ කොලිය පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ ප්‍රදක්‍ෂිණාකොට ස්වකීය ගෘහය යම් තැනකද එහි ආපසු ගියේය. සුප්පවාස කොලිය ධීතෘව සැප ඇත්තී රෝග නැත්තී නිරෝගවූ පුතකු වැදූබව කොලිය පුත්‍රතෙම දැක්කේමය. දැක ඔහුට මේ අදහස වීය. ‘තථාගතයන් වහන්සේගේ මහත් සෘද්ධි ඇතිබව, මහත් ආනුභාව ඇතිබව පින්වත්නි, ආශ්චර්යය පුදුමය. යම් තැනක මේ සුප්පවාසා කොලිය ධීතෘව භාග්‍යවතුන් වහන්සේගේ වචනය සමගම සැප ඇත්තී රෝග නැත්තී නිරෝගවූ පුතෙකු වදන්නේ යයි’ සතුටු සිත් ඇත්තේ ප්‍රමුදිතවූයේ සතුටු සොම්නස් ඇත්තේ විය.

ඉක්බිති සුප්පවාස කොලිය ධීතෘව ස්වාමියා ඇමතුවාය. “ආර්යය පුත්‍රය, ඔබ මෙහි එනු මැනව, භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණෙනු මැනව. පැමිණ ස්වාමීනි, සුප්පවාසා කොලිය ධීතෘව භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳින්නේයයි’ මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳිනු මැනව. මෙසේද කියනු මැනව. ‘ස්වාමීනි, සුප්පවාසා කොලිය ධීතෘව සත්වයක් ගැබ දරුවා සත් දිනක් ගැබ සරස්ව සිටියාය. ඇය දැන් සැප ඇත්තී රෝග නැත්තී නිරෝගවූ පුතෙකු වැදුවාය. ඇය සත් දිනක් බුද්ධ ප්‍රමුඛ භික්‍ෂු සංඝයා බතින් ආරාධනා කරන්නීය.’ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සුප්පවාසා කොලිය ධීතෘවගේ බත්සත භික්‍ෂු සංඝයා සමග පිළිගන්නාසේක්වා” යනුවෙනි. “ඉතා හොඳයයි” ඒ කොලිය පුත්‍රතෙම සුප්පවාසා කොලිය ධීතෘවට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පසෙක හුන්නාවූම ඒ කොලිය පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය. ‘ස්වාමීනි, සුප්පවාසා කොලිය ධීතෘව සත්වසක් ගැබ දරුවා සත් දිනක් ගැබ සරස්ව සිටියාය. ඇය දැන් සැප ඇත්තී රෝගනැත්තී නිරෝගවූ පුතෙකු වැදුවාය. ඇය සත්දිනක් බුද්ධප්‍රමුඛ භික්‍ෂු සංඝයාට බතින් පවරන්නීය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සුප්පවාසා කොලිය ධීතෘවගේ බත්සත භික්‍ෂු සංඝයා සමග ඉවසනසේක්වා’ යනුයි.”

එකල්හි වනාහී එක්තරා උපාසක කෙනෙකු විසින් බුද්ධ ප්‍රමුඛ භික්‍ෂුසංඝයා හෙට පිණිස බතින් පවරණ ලද්දේවෙයි. ඒ උපාසකතෙමේද ඇවැත්වූ මහමුගලන් තෙරුන් වහන්සේගේ උපස්ථායකයෙක් වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඇවැත්වූ මහමුගලන් තෙරුන් වහන්සේ ඇමතූසේක. “මොග්ගල්ලානය, ඔබ මෙහි එන්න, ඒ උපාසකතෙම යම්තැනෙක්හිද එහි යන්න ගොස් ඒ උපාසකයාට මෙසේ කියන්න. “ආයුෂ්මත, සුප්පවාසා කොලිය ධීතෘව සත්වසක් ගැබ දරුවාය. සත් දිනක් ගැබ සරස්වූවා. ඇය දැන් සැප ඇත්තී රෝග නැත්තී නිරෝගවූ පුතෙකු වැදුවාය. සත් දිනක් බුද්ධප්‍රමුඛ භික්ෂු සංඝයා බතින් පවරන්නීය. සුප්පවාසා කොලිය ධීතෘවගේ බත්සත ඉෂ්ට කෙරේවා. ඔබගේ දානයට පැමිණිම පසුව ඉටුකරන්නේය” යනුවෙනි.

“එසේය, ස්වාමීනියි” ඇවැත්වූ මහා මුගලන් තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචනදී, ඒ උපාසක තෙම යම් තැනකද එහි පැමිණියහ. පැමිණ ඒ උපාසකයාට මෙය කීහ. “ඇවත, සුප්පවාසා කොලිය ධීතෘව සත්වසක් ගැබ දරුවාය. සත් දිනක් ගැබ සරස්ව සිටියා දැන් සැප ඇත්තී රෝගනැත්තී නිරෝගවූ පුතෙකු වැදුවාය. සත්දිනක් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝයා බතින් පවරයි. සුප්පවාසා කොලිය ධීතෘවගේ බත්සත ඉටුකෙරේවා, ඔබ පසුව දෙනු මැනවි”යි යනුයි. ස්වාමීනි, ඉදින් මට ආර්යවූ මහා මොග්ගල්ලානයන් වහන්සේ භොගයන්ටද ජීවිතයටද ශ්‍රද්ධාවටද ඇප කෙරේ නම් සුප්පවාසා කොලිය ධීතෘව බත්සත ඉටුකෙරේවා. මම පසුව ඉටුකරන්නෙමි” “ඇවත, භොගයන්ටද ජීවිතයටද යන ධර්ම දෙකට ඇප ඇත්තේය. ශ්‍රද්ධාව වනාහි ඔබගේම ඇපය වන්නේය. ස්වාමීනි, ඉදින් මට ආර්යවූ මහා මොග්ගල්ලානයන් වහන්සේ භොගයටද ජීවිතයටද යන ධර්ම දෙකට ඇප වන්නේ නම් සුප්පවාසා කොලිය ධීතෘව බත්සත ඉටුකෙරේවා. මම පසුව ඉටුකරන්නෙමි.” ඉක්බිති ඇවැත්වූ මහමුගලන් තෙරුන් වහන්සේ ඒ උපාසකයාට දන්වා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එහි පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙය දැන්වූහ. “ස්වාමීනි, මා විසින් ඒ උපාසකයාට දන්වනලදී. සුප්පවාසා කොලිය ධීතෘව බත්සත ඉටුකෙරේවා හෙතෙම පසුව ඉටුකරන්නේය.” යනුවෙනි.

“ඉක්බිති සුප්පවාසා කොලිය ධීතෘව සත්දිනක් බුද්ධප්‍රමුඛ භික්ෂු සංඝයාට ප්‍රණීතවූ කෑයුතු දැයින්ද බුදියයුතු දැයින්ද සියතින් තෘප්තියට පත්කළාය. මනාකොට පවරා දුන්නීය. ඒ දරුවා ලවා භාග්‍යවතුන් වහන්සේ ද සියලු භික්ෂු සංඝයාද වැන්දවිය. ඉක්බිති ඇවැත්වූ සැරියුත් තෙරුන් වහන්සේ ඒ දරුවාට මෙසේ කීහ. “කිමෙක්ද දරුව ඔබට ඉවසිය හැකිද? යැපියහැකිද? කිමෙක්ද කිසි දුකක් නැද්ද?” යනුවෙනි.

“ස්වාමීනි, මට ඉවසීමක් කොයින්ද, යැපීමක් කොයින්ද සත්වසක් ලොහෝ සැළියෙහි විසීමි.”

ඉක්බිති සුප්පාවාසා කොලිය ධීතෘව මාගේ පුත්‍රයා ධර්ම සේනාපතීන් වහන්සේ සමග කථාකරන්නේයයි සතුටු සිත් ඇත්තී ප්‍රමුදිතවූවා සොම්නස් වූවාය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සතුටු සිත් ඇති ප්‍රමුදිතවූ, සොම්නස්වූ සුප්පවාසා කොලිය ධීතෘව දැක සුප්පවාසා කොලිය ධීතෘවට මෙය වදාළසේක. “ සුප්පවාසාව, ඔබ තවත් මෙබඳු පුතකු කැමති වන්නෙහිද?” “ස්වාමීනි, මම මෙබඳු පුත්‍රයන් සත් දෙනෙකුන් කැමතිවන්නෙමි.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශ කළසේක.

“යම්කලෙක ඥානයෙන් යුක්තවූ මුනි නම් වූ බ්‍රාහ්මණතෙම තමා විසින් ආර්යසත්‍යය දැනගන්නා ලද්දේද, එහි චන්‍ද්‍රයාගේ ආලෝකය නොබබළයි. එහි අන්ධකාරය නැත. ඉක්බිති රූපාරූපයෝද සැප දුක්ද මිදෙත්.”